පුණ්‍ය කටයුතු හරහා සුහදතාව සහ සහයෝගීතාව වර්ධනය කිරීම: පිලිපීනයෙන් ශ්‍රී ලංකාවට පිරිනමන ලද වෛද්‍ය සැපයුම් පරිත්‍යාගය

පුණ්‍ය කටයුතු හරහා සුහදතාව සහ සහයෝගීතාව වර්ධනය කිරීම: පිලිපීනයෙන් ශ්‍රී ලංකාවට පිරිනමන ලද වෛද්‍ය සැපයුම් පරිත්‍යාගය

පිලිපීන-ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති මයිකල් චෙන් මහතා ශ්‍රී ලංකාව වෙත පිරිනැමූ පෙරිටෝනියල් කාන්දු පෙරන ද්‍රාවණ (Peritoneal Dialysis Solutions) ඒකක පන්දහසක (5,000) පරිත්‍යාගය මෙරටට ලබා දීමේ කටයුතු සඳහා මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් පහසුකම් සලසන ලදී.

2022 ජුලි 29-31 යන දිනවල පිලිපීනයේ පැවති 2022 ජාත්‍යන්තර නායකත්ව සමුළුව සඳහා සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, සිය සංචාරය අතරතුර පිලිපීන - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා හමුවී එතුමා වෙත යොමු කරන ලද ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය මෙරටට පිරිනමන ලදී.

මෙම තීරණාත්මක මොහොතේ දී පිලිපීන - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා මෙරට සම්බන්ධයෙන් විදහා දැක්වූ ප්‍රශංසනීය සුහදත්වය ඇගයූ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ශෝබිනි ගුණසේකර මැතිනිය, ශ්‍රී  ලංකාව වෙනුවෙන් සිය උණුසුම් කෘතඥතාව පළ කළා ය. මෙම බැඳීම ජාතීන් දෙක අතර පවත්නා මිත්‍රත්වය, දයානුකම්පාව සහ සුහදත්වය යන බැඳීම් මත ගොඩනැගුණු ගතික ස්වභාවයෙන් යුත් පුද්ගලාන්තර බැඳීම්වල ප්‍රකාශනයක් බවද එතුමිය මෙහිදී විස්තර කළා ය.

මෙම වෛද්‍ය සැපයුම් තොගය පිලිපීනයේ බැක්ස්ටර් (Baxter) නිෂ්පාදන මධ්‍යස්ථානය තුළ නිෂ්පාදනය කර, අනතුරුව මෙරට වෙත නැව්ගත කර ඇති අතර, එම නෞකාව මෙම මස ශ්‍රී ලංකාවට ළඟා විය. මෙරට මහජන සෞඛ්‍ය පද්ධතියේ කාන්දු පෙරන රෝගීන් සඳහා අවශ්‍ය කෙරෙන, ඉහත ආකාරයේ සැපයුම් සඳහා ඇති හදිසි ඉල්ලුමට විසඳුම් සෙවීම මෙම පරිත්‍යාගයේ අරමුණ විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මැනිලා

2022 දෙසැම්බර් 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close