මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා උගන්ඩාවේ දී සිය අක්තපත්‍ර පිළිගන්වයි

මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා උගන්ඩාවේ දී සිය අක්තපත්‍ර පිළිගන්වයි

මහ කොමසාරිස් වේලුප්පිල්ලෙයි කනනාදන් මැතිතුමා කෙන්යාවේ සිටින උගන්ඩාව සඳහා ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස අක්තගැන්වීමේ ලිපිය 2021 මැයි 6 වැනි දින උගන්ඩාවේ එන්ටෙබේහි පිහිටි රාජ්‍ය මන්දිරයේ දී උගන්ඩාවේ ජනාධිපති අතිගරු යොවේරි කගුටා මුසවේනි මැතිතුමා වෙත පිළිගැන්වීය. එම නිල උත්සවයෙන් පසුව පැවති පෞද්ගලික රැස්වීම අතරතුර දී, ජනාධිපතිවරයා සහ මහ කොමසාරිස්වරයා දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කර ගත් අතර, මෑත වසරවල දී ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර සබඳතාවල සැලකිය යුතු වර්ධනයක් පවතින බව පිළිගෙන තිබේ. ද්විපාර්ශ්වික සබඳතා එහි සැබෑ විභවයන් කරා ළඟාවීම සඳහා විශේෂයෙන් වෙළඳ, ආයෝජන සහ වෙනත් ආර්ථික ක්‍රියාකාරකම්වල සහයෝගීතාවයේ නව ක්ෂේත්‍ර ගණනාවකට පුළුල් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද ඔවුහු අදහස් හුවමාරු කර ගත්හ.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලය තුළ දී උගන්ඩාව ශ්‍රී ලංකාව සමඟ පැවති සමීප සබඳතා සිහිපත් කළ ජනාධිපති මුසවේනි මැතිතුමා, ද්විපාර්ශ්වික සබඳතා නව මානයක් කරා නැංවීම සඳහා පියවර කිහිපයක් ගෙන ඇති බව සඳහන් කළේය. ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා පුළුල් කිරීම සඳහා එම සියලු පියවරයන් අනුගමනය කළ යුතු බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

අන්‍යෝන්‍ය ආර්ථික ප්‍රතිලාභ සඳහා අප්‍රිකාව සමඟ සබඳතා ප්‍රවර්ධනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් වත්මන් රජය උනන්දු වන බව මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා ජනාධිපති මුසවේනි මැතිතුමාට පැහැදිලි කළේය. අප්‍රිකානු සංගමයේ නිරීක්ෂකයෙකු ලෙස ශ්‍රී ලංකාව, වාසිදායක සහයෝගීතාවයක් ඇති කිරීම සඳහා අප්‍රිකානු ලෝකය වෙත ළඟාවීමේ අදහසින් යුතුව, අප්‍රිකානු රටවල් සමඟ මෙන්ම නැගෙනහිර සහ දකුණු අප්‍රිකාව සඳහා පොදු වෙළඳපොල (COMESA), බටහිර අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාව (ECOWAS), දකුණු අප්‍රිකානු සංවර්ධන ප්‍රජාව (SADC), මධ්‍යම අප්‍රිකානු රාජ්‍යයන්ගේ ආර්ථික ප්‍රජාව (ECCAS) වැනි උප කලාපීය සංවිධාන සමඟ අන්තර් ක්‍රියාකාරකම් සඳහා වේදිකාවක් ලෙස එම තත්ත්වය භාවිත කිරීමට පියවර ගනිමින් සිටින බව එතුමා වැඩිදුරටත් පැවසීය.

ආර්ථික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ කාර්යය සම්බන්ධයෙන්, මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවය 2021 අප්‍රේල් 22 වන දින නයිරෝබි වෙත පළමු වරට සෘජු ගුවන් ගමන් ආරම්භ කරන ලද බව ජනාධිපතිවරයාට දැනුම් දුන් අතර, උගන්ඩාවේ සිට ශ්‍රී ලංකාව වෙත පැමිණෙන සහ අනෙක් දෙසට යන සංචාරකයින්ට ඍජු ප්‍රතිලාභයක් ලබා දෙන අන්තර් ගුවන් සේවා ගිවිසුමකට එළඹීම සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවය සහ උගන්ඩා ගුවන් සේවය අතර සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව ද එතුමා පැවසීය. මෑතදී යොදන ලද මෙම ගුවන් ගමන් විධිවිධාන ඉතා හොඳ ප්‍රවෘත්තියක් බව පැවසූ ජනාධිපතිතුමා, ශ්‍රී ලංකාව සහ නැගෙනහිර අප්‍රිකාවේ රටවල් මගී හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන මෙම පහසුකමෙන් ප්‍රයෝජන ගත යුතු බවත්, ජයග්‍රාහී තත්වයක් නිර්මාණය කළ යුතු බවත් පැවසීය. ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර සංචාරක ප්‍රවර්ධනය සඳහා රටවල් දෙකම ගුවන් සම්බන්ධතාවය භාවිතා කළ යුතු බවට ද ඔවුහු එකඟ වූහ.

උගන්ඩාවේ කුඩා ජල විදුලිබල ව්‍යාපෘතිවල පුරෝගාමීන් වෙමින් මෙම අංශයේ ඒකාධිකාරය භුක්ති විඳින, ශ්‍රී ලංකා ආයෝජකයින්ගේ ආයෝජන අගය කළ ජනාධිපති මුසවේනි මැතිතුමා,

උගන්ඩාවේ කුඩා ජලවිදුලි ව්‍යාපෘතිවල පුරෝගාමීන් වෙමින් මෙම ක්ෂේත්‍රයේ ඒකාධිකාරය භුක්ති විඳින ශ්‍රී ලංකා ආයෝජකයින්ගේ ආයෝජන අගය කිරීමට ලක් කළ ජනාධිපති මුසවේනි මැතිතුමා, උගන්ඩාවේ විදේශීය ඍජු ආයෝජන සඳහා ඉදිරිපත් කර ඇති ලාභදායී නියමයන් සහ කොන්දේසිවලින් ප්‍රතිලාභ ලබමින් ශ්‍රී ලංකා ආයෝජකයින්ට කෘෂිකර්මාන්තය, නිෂ්පාදන සහ වෙනත් ක්ෂේත්‍ර වැනි විවිධ ක්ෂේත්‍රවල ද ආයෝජනය කිරීම සඳහා ආරාධනා කළේය.

රැස්වීම සමාප්ත කරමින්, ශ්‍රී ලංකාව සහ උගන්ඩාව අතර ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරීමේ දී සියලු කටයුතු සාර්ථක වන ලෙස මහ කොමසාරිස්වරයාට ප්‍රාර්ථනා කරමින් ජනාධිපතිතුමා උගන්ඩාවේ රජයේ පූර්ණ සහයෝගය සහ ඒ සඳහා සහයෝගය ලබා දෙන බවට එතුමාට සහතික විය.

මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා 2013-2015 කාලය තුළ දී උගන්ඩාවේ ශ්‍රී ලංකාවේ නේවාසික මහ කොමසාරිස් ලෙස සේවය කොට ඇති බැවින්, මෙය එතුමා කම්පාලා හි දී ජනාධිපති මුසවේනි මැතිතුමා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වන ලද දෙවැනි අවස්ථාවයි. 2020 දී උගන්ඩාව ඇතුළු අසල්වැසි රටවල් 8 ක් සඳහා සමගාමී අක්තගැන්වීම් සහිතව කෙන්යාවේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කරන තෙක් මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා උගන්ඩාව සඳහා ශ්‍රී ලංකාවේ නිර්වේතනික කොන්සල්වරයා ලෙස කටයුතු කළේය. මහ කොමසාරිස් කනනාදන් මැතිතුමාගේ අප්‍රිකානු කලාපය පිළිබඳ විශාල දැනුම හා පළපුරුද්ද සැලකිල්ලට ගනිමින්, 2020 ජනවාරි මාසයේ දී එතුමා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ අප්‍රිකාවේ විශේෂ නියෝජිතයා ලෙස පත් කරන ලදී.

මහ කොමසාරිස් කනනාදන් මැතිතුමා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනයේ (ICMA) වෘත්තීය සුදුසුකම් ලබා ඇති අතර, ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
නයිරෝබි

2021 මැයි 08 වැනි දින

 

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close