වරාය තත්ත්ව පාලනය ශක්තිමත් කර ප්‍රමතියෙන් තොර නැව් පාලනය කළ යුතුයි

වරාය තත්ත්ව පාලනය ශක්තිමත් කර ප්‍රමතියෙන් තොර නැව් පාලනය කළ යුතුයි

ප්‍රමිතියෙන් තොර නැව් හඳුනා ගැනීම සඳහා වරාය තත්ත්ව පාලනය ශක්තිමත් කළ යුතු බව ඉන්දියානු සාගරයේ වටද්දර රටවල සංගමය (IORA) අවධාරණය කර ඇත. එමගින් ප්‍රමතියෙන් තොර නැව් හදුනා ගැනිමට “ආරක්ෂිත දැලක්” සැපයෙන බවද ඔවුහු පෙන්වා දී තිබේ. “ඉන්දියානු සාගර කලාපයේ වරාය තත්ත්ව පාලනය (PSC) සහ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය (MSS)” යන තේමාව යටතේ 2021 මැයි 04 වැනි දින විදේශ අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද වෙබිනාර් සාකච්ඡාවේ දී මේ කරුණු අනාවරණය වී තිබේ. ප්‍රවීණ ජාත්‍යන්තර නීති සම්පාදකයින් වන මැක්ස් ප්ලෑන්ක් පදනමේ මොරොක්කෝව සහ සුඩානය සඳහා කළමණාකාර අධ්‍යක්ෂ සහ ව්‍යාපෘති ප්‍රධානී මහාචාර්ය රුඩිගර් වුල්ෆ්රම් මහතා සහ නෝර්වේ රටේට්‍රොම්සෝ හි, යූඅයිටී ආක්ටික් විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පිහිටි සාගර නීතිය පිළිබඳ නෝර්වීජියානු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මහාචාර්ය ටෝර් හෙන්රික්සන් මහත්වරු මෙම සාකච්ඡාවට සම්පත් දායකයන් ලෙස සහභාගි වී සිටියහ. ප්‍රමිතියෙන් තොර නැව්ගත කිරීම්වලට එරෙහි දෙවැනි ආරක්ෂක පියවරක් ලෙස සහ ධජ රාජ්‍යය මඟින් කෙරෙන ක්‍රියාත්මක කිරීම සඳහා උපකාරී වැඩසටහනක් ලෙස වරාය තත්ත්ව පාලන පරීක්ෂණ යොදවා ගැනීමට අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (IMO), නැව් සහ විසර්ජන පාලනය කිරීමේ දී කලාපීය සහයෝගීතාව පිළිබඳ A.682 (17) යෝජනාව සම්මත කළ අතර, කලාපීය ගිවිසුම්වලට එළඹීම ප්‍රවර්ධනය කරයි. එක් රටක වරායකට යන නැවක් සාමාන්‍යයෙන් කලාපයේ වෙනත් රටවලට යන අතර, ප්‍රමිතියෙන් තොර නැව් කෙරෙහි අවධානය යොමු කිරීම සහ බහුවිධ පරීක්ෂාවන් වළක්වා ගැනීම සඳහා පරීක්ෂණ සමීපව සම්බන්ධීකරණය කළ හැකි නම් එය වඩාත් කාර්යක්ෂම විය හැකිය. මෙමඟින් හැකි තරම් නැව් පරීක්‍ෂා කරන බවට සහතික වන නමුත්, ඒ සමඟම අනවශ්‍ය පරීක්ෂණ මගින් නැව් ප්‍රමාද වීම වළක්වයි. නැව්වල ප්‍රමිතීන් සඳහා වන මූලික වගකීම ධජ රාජ්‍යය සතු වේ.

වරාය තත්ත්ව පාලනය පිළිබඳ පුළුල් විෂය පථය අනුව, මෙම වෙබ්නාර් සාකච්ඡාව කොටස් දෙකකට බෙදන ලදී. එහි පළමුවැනි සැසියේ දී, වරාය තත්ත්ව පාලනය, සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සහ සමුද්‍ර නීතිය පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙම කොටස වඩාත් න්‍යායාත්මක ස්වභාවයක් ගත් අතර,එහිදී වරාය තත්ත්ව පාලනයෙහි අර්ථය සහ විෂයය පථය; සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය වැඩි දියුණු කිරීම සහ වරාය තත්ත්ව පාලනය අතර පවතින සම්බන්ධතාවය; එක්සත් ජාතීන්ගේ සමුද්‍ර නීතියපිළිබඳ සම්මුතිය (UNCLOS) සහ වෙනත් ජාත්‍යන්තර නෛතික ලේඛන යටතේ වරාය තත්ත්ව පාලනය නියාමනය කරන නෛතික තන්ත්‍රය සාකච්ඡාවට බඳුන් කෙරිණ. නීති විරෝධී, වාර්තා නොකළ සහ නියාමනය නොකළ මසුන් ඇල්ලීම (IUU මසුන් ඇල්ලීම) සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, වරාය තත්ත්ව පාලනය සහ සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතභාවය අතර අන්තර් සම්බන්ධතාවය පිළිබඳ ඉදිරිපත් කිරීම් මෙන්ම, වරාය තත්ත්ව පාලනය සඳහා ක්‍රියාමාර්ග සපයමින් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය (IMO) සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් පනවන ලද ජාත්‍යන්තර නීති පිළිබඳ කෙටි සාකච්ඡාවක් ද මෙයට ඇතුළත් විය.

දෙවන සැසියේ දී ඉන්දියානු සාගර කලාපයේ (IOR) වරාය තත්ත්ව පාලනය - කලාපීය පිළිවෙත් සමපාතකිරීම හා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී. මෙම කොටසේ දී, ඉන්දියානු සාගර කලාපයේ වරාය තත්ත්ව පාලනය සහ සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතභාවය සම්බන්ධ තාක්ෂණික හා කලාපීය ගැටළු සාකච්ඡා කෙරිණි. ඉන්දියානු සාගර කලාපයේ වරාය තත්ත්ව පාලනය වැඩි දියුණු කළ හැකි අභියෝග, අවස්ථාවන් සහ විශිෂ්ට පරිචයන් හඳුනා ගැනීමේ අරමුණින් ඉන්දියානු සාගර අවබෝධතා ගිවිසුම අනෙකුත් වරාය තත්ත්ව පාලන තන්ත්‍රයන්ට සාපේක්ෂව සංසන්දනාත්මක විශ්ලේෂණයක් මෙම කොටසට ඇතුළත් විය. දෙවනුව, නැව්වලින් සිදුවන දූෂණය වැළැක්වීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය (MARPOL) යටතේ යටතේ කෙරෙන පරීක්ෂණ කෙරෙහි අවධානය යොමු කරමින්, සමුද්‍රයෝග්‍යතාව හා වරාය තත්ත්ව පාලනය, සමුද්‍රීය ජීවිත ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (SOLAS) සහ මුහුදේ ඝට්ටන වැළැක්වීම සඳහා වූ ජාත්‍යන්තර රෙගුලාසි පිළිබඳ සම්මුතිය (COLREGs), මේ සම්බන්ධ ප්‍රායෝගික ගැටළු සහ විශිෂ්ඨ පරිචයන් පිළිබඳ සාකච්ඡාවක් සැසිවාරයට ඇතුළත් විය. තෙවනුව, දේශසීමා ඉක්මවමින් සිදුකෙරෙන සමුද්‍රීය අපරාධ සහ ත්‍රස්තවාදයට ප්‍රතිචාර දැක්වීම සඳහා වරාය තත්ත්ව පාලනය පිළිබඳ ක්‍රියා පටිපාටි ප්‍රශස්ත කිරීම සහ මේ සම්බන්ධයෙන් ඇතිවිය හැකි අභියෝග සහ අවස්ථාවන් පිළිබඳව සාකච්ඡා කෙරිණි.

සමාප්ත වශයෙන්, වරාය තත්ත්ව පාලනය පිළිබඳ නෛතික පදනම සහ වරාය තත්ත්ව පාලනය සහ සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතභාවය අතර අන්තර් සම්බන්ධතාවය ඇතුළුව වරාය තත්ත්ව පාලනය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් අවශ්‍ය වන බවට මණ්ඩලය එකඟ විය. දේශීය වරාය තත්ත්ව පාලන තන්ත්‍රයන් ශක්තිමත් කිරීමට පියවර ගත යුතු අතර, එමඟින් ඉන්දියන් සාගර කලාපය තුළ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය ආශ්‍රිත අරමුණු තවදුරටත් වර්ධනය වනු ඇත. වරාය තත්ත්ව පාලනයපිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා ගැනීම සහ දැනුවත්භාවය ඇති කිරීම, ජකාර්තා ගිවිසුමෙහි අරමුණු, අයෝරාහි ක්‍රියාකාරී සැලැස්ම (2017-2021) සහ සමුද්‍රීය ආරක්ෂාව හා සුරක්ෂිතභාවය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ වැඩ සැලැස්ම ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට උපකාරී වන අතර, ඉන්දියන් සාගර කලාපයේ හවුල් අනන්‍යතාවය ශක්තිමත් කිරීමට සහ සමුද්‍රීය ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය ආශ්‍රිත ගැටළු සඳහා කලාපීය සාමූහික ප්‍රතිචාර දිරිමත් කිරීමට උපකාරී වනු ඇත. සාගර සම්පත්වලින් තිරසාර ලෙස ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අයෝරා සාමාජික රටවල් සඳහා වන වරාය තත්ත්ව පාලන ක්‍රියාමාර්ගවල අදාළත්වය ද අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාව සඳහා, වරාය තත්ත්ව පාලන ක්‍රියාමාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මෙන්ම සාගර පාලනයට සම්බන්ධ අනෙකුත් සහායක කලාපීය සහ ජාත්‍යන්තර නෛතික ලේඛනවලට අත්සන් කිරීමමඟින් සමුද්‍රීය හා සැපයුම් සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස රට ඵලදායී ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා එහි ප්‍රයත්නයන් සමඟ හොඳින් වැඩිදියුණු වන අතර එහි භූ-උපාය මාර්ගික පිහිටීම සඳහා උත්තෝලන බලයක් සපයයි.

ප්‍රවීණ වෙළඳ නාවික ප්‍රධානියෙකු වූ, වෙළඳ නාවික ලේකම් කාර්යාලයේ කපිතාන් උපුල් පීරිස් මහතා, ලංකා නැව් සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ ආචාර්ය ඩෑන් මාලිකා ගුණසේකර මහතා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විකුම් ආබෲ මහතා අනෙක් කථිකයින් අතර වූහ. මෙම වෙබිනාර් සාකච්ඡාව විදේශ අමාත්‍යාංශයේ සාගර කටයුතු, පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් හසන්ති උරුගොඩවත්ත දිසානායක මහත්මිය විසින් මෙහෙයවන ලදී. ඉන්දියානු සාගරයේ වටද්දර රටවල සංගමයේ (IORA) සාමාජික රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විද්වතුන්, වෘත්තිකයින් සහ සංවාද හවුල්කරුවන් 50 දෙනෙක් මෙම වෙබිනාර් සාකච්ඡාව සඳහා සහභාගී වූහ.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 මැයි 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close