පිලිපීනයේ පැවති ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දින සැමරුම

පිලිපීනයේ පැවති ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දින සැමරුම

මැනිලා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ 74 වැනි නිදහස් දිනය නිල නිවාස පරිශ්‍රයේ දී උත්කර්ෂවත් අයුරින් සැමරීය.

ජාතික ධජය එසවීම, ජාතික ගීය ගායනය, සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීම, ජාතිය වෙනුවෙන් දිවි පිදූවන් සියලු දෙනා සිහිකරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමත් සමඟ උත්සවය ආරම්භ විය.  බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි පිළිවෙත්වලට අනුව පටිගත කළ සර්ව ආගමික යාඥාවන් ද පූජකවරුන් විසින් රට වෙනුවෙන් ආශිර්වාද පතා පවත්වන ලදි. ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ නිදහස් දින පණිවුඩ ද මෙම අවස්ථාවේ දී ප්‍රකාශ කරනු ලැබීය.

වර්තමානයේ අභියෝග සහිත වසංගතය මැඩලීමේ අඛණ්ඩ ප්‍රයත්නයක නිරත වන බහුවිධ, ප්‍රජාතන්ත්‍රවාදී සහ නූතන ජාතියක් ලෙස නැගී සිටීමට සිය වර්ණවත් ඉතිහාසය හරහා ඒකරාශී කොටගත් ශ්‍රී ලාංකිකයින් සතු වන දරා ගැනීමේ හැකියාව සහ අධිෂ්ඨානශීලීත්වය පිළිබඳව පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපතිනි ශෝබිනි ගුණසේකර මහත්මිය සිය දේශනයේ දී ඉස්මතු කළාය.

නිදහස ලබා ගැනීම සඳහා රටේ විරුවන් සිදු කළ කැපකිරීම්, විශේෂයෙන්ම ත්‍රස්තවාදයෙන් රට මුදාගත් අභීත රණවිරුවන් මෙන් ම  වසංගතයට එරෙහි සටනේ පෙරමුණේ සිටින වෛද්‍ය ශ්‍රම බලකාය ආදී නූතන යුගයේ විරුවන් වෙනුවෙන් මෙම අවස්ථාවේ දී උපහාර පුද කරනු ලැබීය.

ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සඳහන් කළ තානාපතිවරිය රටවල් දෙක අතර දේශ සීමාවන් යළිත් වරක් විවෘත කර තිබීම හේතුවෙන් සිය ආර්ථික රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම්වලදී, විශේෂයෙන්ම කාබනික කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, තොරතුරු තාක්ෂණ-ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ කර්මාන්තය මෙන්ම සංචාරක ව්‍යාපාරය ඇතුළු අනෙකුත් ප්‍රමුඛතා ක්ෂේත්‍රයන්හි ද තානාපති කාර්යාලය විසින් ගෙන තිබෙන ප්‍රයත්න පිළිබඳව අවධාරණය කළාය.

අරමුදල් සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම තුළින් වසංගතයට එරෙහි සටනට සහයෝගය දැක්වූ පිලිපීනයේ ශ්‍රී ලාංකික ප්‍රජාව මෙන්ම පිලිපීනයේ මිත්‍රශීලී ප්‍රජාව විසින් දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ දී දරනු ලැබූ ප්‍රයත්නයන් මෙහිදී හෘදයාංගම වශයෙන් ඇගයීමට ලක් විය.

"මේ රට මගේ රට" සහ "My Lovely Island Home" යන අභිමානනීය ගීත තානාපති කාර්යාල කාර්ය මණ්ඩල නිලධාරීන් විසින් ගායනා කිරීමෙන් අනතුරුව පැවති කිරිබත් සහ රසකැවිලි ඇතුළු ශ්‍රී ලාංකීය ආහාරපානවලින් පිරි දිවා භෝජන සංග්‍රහයත් සමඟ උත්සවය නිමාවට පත් විය.

පිලිපීනයේ අගනුවර වන මෙට්‍රෝ මැනිලා හි ප්‍රධාන ප්‍රදේශවල පිහිටි LED පුවරුවල පිලිපීනයේ මිත්‍රශීලී ප්‍රජාව  විසින් නිදහස් දින සුබ පැතුම් ප්‍රදර්ශනය කරනු ලැබීය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මැනිලා

2022 පෙබරවාරි 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close