තුර්කියේ අභ්‍යවකාශ ආයතනය සහ ශ්‍රී ලංකාවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර සබඳතා පිහිටුවා ගනී

තුර්කියේ අභ්‍යවකාශ ආයතනය සහ ශ්‍රී ලංකාවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර සබඳතා පිහිටුවා ගනී

ශ්‍රී ලංකාවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (KDU) සහ තුර්කි අභ්‍යවකාශ කර්මාන්ත ඇකඩමිය (TAI) අතර සහයෝගීතාව ඇති කිරීම සඳහා, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා සහ තුර්කි අභ්‍යවකාශ කර්මාන්ත ඇකඩමියේ (TAI) සභාපති මහාචාර්ය අහමට් පිනර්බාසි මහතා අතර ඵලදායී අතථ්‍ය සාකච්ඡාවක් 2022 පෙබරවාරි 14 වැනි දින පැවැත්විණි.

15 වැනි ජාත්‍යන්තර ආරක්ෂක කර්මාන්ත ප්‍රදර්ශනයට (IDEF) 2021 සහභාගී වීම පිණිස ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම් ජෙනරාල් ජී.ඩී.එච්. කමල් ගුණරත්න (විශ්‍රාමික) (WWV RWP RSP USP ndc psc MPhil) මහතා තුර්කියේ කළ මෑත කාලීන සංචාරයේ පසු විපරමක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදි. මෙම සංචාරය අතරතුර දී ආරක්ෂක ලේකම්වරයා IDEF ප්‍රදර්ශනයේ තුර්කි අභ්‍යවකාශ කර්මාන්ත ඇකඩමියේ (TAI) ප්‍රදර්ශන කුටිය නැරඹීමට ගියේය. එහිදී, තුර්කි අභ්‍යවකාශ කර්මාන්ත ඇකඩමියේ සභාපති මහාචාර්ය රාෆට් බොසොඩොගන් මහතා සහ එහි ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ටෙමෙල් කොටිල් මහතා එම ආයතනය පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් පැවැත්වූ අතර, ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා කැමැත්ත පළ කළහ.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා සිය අදහස් දැක්වීමේදී, තුර්කි අභ්‍යවකාශ කර්මාන්ත ඇකඩමියේ ශක්තිය පිළිබඳව සඳහන් කළ අතර, අන්‍යොන්‍ය ශිෂ්‍ය හුවමාරු, අධ්‍යයන හුවමාරු, කාර්මික පුහුණු අවස්ථා සහ තුර්කි අභ්‍යවකාශ කර්මාන්ත ඇකඩමිය වෙත අධ්‍යයන චාරිකා ආදිය සඳහා සම්බන්ධතා ඇති කර ගැනීම සඳහා සිය කැමැත්ත ප්‍රකාශ කළේය.

තුර්කි අභ්‍යවකාශ කර්මාන්ත ඇකඩමියේ සභාපති මහාචාර්ය අහමට් පිනර්බාසි මහතා තුර්කි අභ්‍යවකාශ කර්මාන්තය පිළිබඳව කෙටි හැඳින්වීමක් කළ අතර, වියහැකි සහයෝගීතාවයේ ක්‍ෂේත්‍ර පිළිබඳව කටයුතු කිරීමට තුර්කි අභ්‍යවකාශ කර්මාන්තය සූදානම් බවත් එය ඉක්මනින්ම යෝජනා කරන බවත් සඳහන් කළේය.

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති රිස්වි හසන් මැතිතුමා සිය සමාරම්භක දේශනය අතරතුර දී, තුර්කි අභ්‍යවකාශ කර්මාන්ත ඇකඩමිය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය අතර සම්බන්ධතා ඇති කර ගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය.

තවද, අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා පවතින හැකියාව පිළිබඳව දෙපාර්ශවය ගවේෂණය කළහ.

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ තුර්කි අභ්‍යවකාශ කර්මාන්ත ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැස්වීමට සහභාගී වූ අතර, සහයෝගීතාව පිළිබඳ ඔවුන්ගේ විශේෂඥතාව බෙදාහදා ගත්හ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අන්කාරා

2022 පෙබරවාරි 21 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close