දකුණු අප්‍රිකානු රටවල ආහාර සුරක්ෂිතතාව: කොස් වගාව ජනප්‍රිය කිරීම සඳහා ප්‍රිටෝරියා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මුලපිරීමක්

දකුණු අප්‍රිකානු රටවල ආහාර සුරක්ෂිතතාව: කොස් වගාව ජනප්‍රිය කිරීම සඳහා ප්‍රිටෝරියා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ මුලපිරීමක්

කුසගින්න සඳහා විසඳුමක් ලෙස දකුණු අප්‍රිකානු රටවල කොස් වගා කිරීමේ ප්‍රතිලාභ ඉස්මතු කරමින් දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය යුනිසෙෆ් සංවිධානය සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානය වෙත සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ මැලේසියාවේ අත්දැකීම් රැසක් සහිත දකුණු අප්‍රිකාවේ WITS විශ්වවිද්‍යාලයේ සේවය කරන ශ්‍රී ලාංකික සම්භවයකින් යුත් මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, සමහර අප්‍රිකානු රටවල පවතින කුසගින්න සහ මන්දපෝෂණය සඳහා තිරසාර විසඳුමක් ලෙස කොස් හඳුන්වා දීමේ අදහස ඉදිරිපත් කොට ඇත. යුනිසෙෆ් සංවිධානය සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව, දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සිරිසේන අමරසේකර මැතිතුමා දකුණු අප්‍රිකාවේ යුනිසෙෆ් සංවිධානයේ සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ රටේ නියෝජිතයන් සහ දකුණු අප්‍රිකාවේ විද්‍යා හා නවෝත්පාදන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීම සඳහා සාකච්ඡාවක් කැඳවීය. මෙම හමුවේ දී, මහාචාර්ය ගෝමස් මහතා කොස් භාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ මැලේසියාවේ තම අත්දැකීම් පුළුල් ලෙස විස්තර කළ අතර, දකුණු අප්‍රිකාව වෙත එවැනි ගස් හඳුන්වා දීමේදී සලකා බැලිය යුතු විද්‍යාත්මක කරුණු පිළිබඳව පැහැදිලි කළේය.

දෙවැනි ලෝක යුධ සමයේ දී සහ නියඟය නිසා වරින් වර ඇති වූ ආහාර හිඟය තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට කොස් උපකාරී වූ ආකාරය පිළිබඳව මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා අවධාරණය කළේය. එසේම, කොවිඩ් ආශ්‍රිත ඇඳිරි නීතිය සහ මිනිසුන්ගේ ගමන් බිමන් සීමා කිරීම හේතුවෙන් ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම අඩාල වූ විට, ගෙවතු වගාවක් ලෙස කොස්වලින් ශ්‍රී ලංකාවේ මුල් කොවිඩ්-19 වසංගත කාල පරිච්ඡේදයේ දී කෙටි කාලීන ආහාර හිඟය මඟහරවා ගැනීමට උපකාරී විය. නියඟයෙන් නිතර පීඩාවට පත්වන රටවල කොස් පරිභෝජනය ප්‍රචලිත කළහොත්, ලෝක ආහාර වැඩසටහන සහ අනෙකුත් පරිත්‍යාගශීලීන් විසින් ආහාර බෙදා හැරීම සඳහා වන පිරිවැය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගත හැකි බව මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. මෙම අදහස ක්‍රියාවට නැංවීම සඳහා අරමුදල් සපයන ආයතනයක් ඉදිරිපත් වන්නේ නම්, ශ්‍රී ලංකාවට ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය සහ රෝපණ ද්‍රව්‍ය ලබා දිය හැකිය.

යුනිසෙෆ් සංවිධානය, ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ දකුණු අප්‍රිකාවේ විද්‍යා හා නවෝත්පාදන අමාත්‍යාංශය, මෙම සංකල්පය පරිත්‍යාගශීලීන්ගේ සහාය ඇතිව ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීම සඳහා මහ කොමසාරිස් කාර්යාලයේ දී රැස්වීම් වට කිහිපයක් පැවැත්වීමට එකඟ විය. මහ කොමසාරිස් අමරසේකර මැතිතුමා, ළදරුවන්ට සහ ගර්භනී හා කිරි දෙන මව්වරුන්ට නොමිලේ බෙදා හරිනු ලබන ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන පෝෂ්‍යදායි ආහාර අතිරේක (ත්‍රිපෝෂ සහ සමපෝෂ) කෙරෙහි යුනිසෙෆ් හි නේවාසික නියෝජිතවරයාගේ අවධානය යොමු කළේය. තවද, ශ්‍රී ලංකාවේ නිපදවන ‘ජීවනී’ නමින් හැඳින්වෙන අඩු වියදම් ප්‍රතිජලනය කිරීමේ මිශ්‍රණය අප්‍රිකානු රටවල් සඳහා ද අදාළත්වයක් ඇති බව ඔහු පැහැදිලි කළේය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ප්‍රිටෝරියා

2022 පෙබරවාරි 21 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close