ප්‍රථම වරට පැවැත්වෙන ITE Maldives 2022 ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ සමාගම් මාලදිවයිනේ සමාගම් සමඟ සාර්ථක සබඳතා පවත්වයි

ප්‍රථම වරට පැවැත්වෙන ITE Maldives 2022 ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාවේ සමාගම් මාලදිවයිනේ සමාගම් සමඟ සාර්ථක සබඳතා පවත්වයි

ප්‍රථම වරට පැවැත්වෙන ITE Maldives 2022 නමැති ජාත්‍යන්තර වෙළඳප්‍රදර්ශනයේ ගැණුම්කරු- විකිණුම්කරු හමුව (Buyer-Seller Meet Mart) මාලේ හිදී සාර්ථකව පැවැත්විණි.

ව්‍යාපාරාන්තර හමු සඳහා වේදිකාවක් සපයන ITE Maldives 2022 - Buyer Seller Meet Mart වැඩසටහන, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකාවේ එයිට්කන් ස්පෙන්ස් සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන ආයතනය සහ ඒස් ට්‍රැවල්ස් මෝල්ඩිව්ස් (පුද්) සමාගම විසින් සංවිධානය කරන ලදි. ඉදිකිරීම් ද්‍රව්‍ය සැපයුම්කරුවන්, කුළුබඩු සහ ඖෂධ නිෂ්පාදකයන්, ගෘහ අභ්‍යන්තර නිර්මාණකරුවන්, ඇඟලුම් සහ විලාසිතා, කෘෂිකර්මය සහ අනෙකුත් සේවා සපයන්නන් නියෝජනය කළ ශ්‍රී ලාංකික සමාගම් 20 ක් පමණ සිය නිෂ්පාදන සහ සේවා මාලදිවයින් ව්‍යාපාරික ප්‍රජාව වෙත විදහා දක්වමින් මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ. මෙම වැඩසටහන ආරම්භ කිරීමේ උත්සවය සැප්තැම්බර් 19 වැනි සඳුදා දින, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ මාලදිවයිනේ සංචාරක අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා මවුසූම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සමාරම්භක උත්සවය සදහා සහභාගී වූ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ සමාගම්වල නියෝජිතයන් සමඟ බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය යන රටවල මහ කොමසාරිස්වරු සහ ජපාන තානාපතිවරයා මෙන්ම මාලදිවයිනේ UNDP නේවාසික නියෝජිතයා ද සම්භාවනීය ආරාධිතයන් වශයෙන් සහභාගී වූහ.

2022 සැප්තැම්බර් 19 සිට 21 යන තෙදින තුළ පැවති මෙම උත්සවයට ව්‍යාපාරාන්තර (B2B) රැස්වීම් ආකාරයේ ගැණුම්කරු- විකිණුම්කරු හමුවක් (Buyer-Seller Meet Mart) ඇතුළත් විය. මෙහි පළමු දින දෙක මාලේ හි පිහිටි මෑන්හැටන් ව්‍යාපාර හෝටලයේ දී පැවති අතර, එහිදී මාලදිවයින් සමාගම් හමුවීමටත්, ඔවුන් සමඟ ව්‍යාපාර සබඳතා ගොඩනගා ගැනීමටත් ශ්‍රී ලංකාවේ සමාගම්වලට අවස්ථාව උදාවිය.

මෙහිදී සිය අදහස් පළ කළ මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඒ. එම්. ජේ. සාදික් මැතිතුමා, මෙම වැඩසටහන සංවිධානය කළ , ශ්‍රී ලංකාව තුළ විවිධාංගීකරණයට ලක් වූ ප්‍රමුඛ පෙළේ සමූහ ව්‍යාපාරයක කොටස් ද්විත්ත්වයක් වන එයිට්කන් ස්පෙන්ස් සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන ආයතනය සහ ඒස් ට්‍රැවල්ස් මෝල්ඩිව්ස් ආයතනය සිය පැසසුමට ලක් කළේ ය. ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව සඳහා පවතින පූර්ණශක්‍යතා හඳුනාගැනීමට සහ ගවේෂණය කිරීමට දෙරටේ සමාගම් එකම වේදිකාවකට ගෙන ඒම සඳහා මෙය කදිම මුලපිරීමක් බවට පත් වූ බවද මහ කොමසාරිස් ඒ. එම්. ජේ. සාදික් මැතිතුමා මෙහිදී සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඉහළ ආර්ථික සහයෝගීතාවක් ප්‍රවර්ධනය කිරීම සඳහා ද්විත්ත්ව බදු ගිවිසුම වැළැක්වීම පිළිබඳව පවතින සාකච්ඡා කඩිනම් කිරීමටත්, මාලදිවයින සමඟ පවතින ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ අන්‍යෝන්‍ය ආරක්‍ෂාව පිළිබඳ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කිරීමට කඩිනම් පියවර ගැනීමටත්, මෙම දූත මණ්ඩලය ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සම්බන්ධ වී කටයුතු කරන බවද මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

වෙළඳාම සහ ආයෝජන ප්‍රවාහයන් පහසු කිරීම සඳහා වන නීතිමය රාමුව සහ රජයේ රෙගුලාසි ක්‍රියාත්මක වන විට, එමඟින් සමාගම්වලට සහ ශක්‍යතා සහිත ආයෝජකයන්ට දෙරට අතර පවතින තම ව්‍යාපාරික මෙහෙයුම් පුළුල් කිරීමට විශ්වාසයක් සහ දිරිගැන්වීමක් ලැබෙන බවද එතුමා සඳහන් කළේය.

ITE Maldives 2022 ප්‍රදර්ශනයේ අවසන් දිනයේ දී, ශ්‍රී ලාංකික සමාගම් වෙනුවෙන් හුල්හුමාලේ වෙත ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය කෙරිණි. එහි අරමුණ වූයේ, වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට යාබදව සීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින කෘත්‍රිම දිවයිනේ පවතින ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථා ගවේෂණය කිරීමයි.

මෙම සමාරම්භක ගැනුම්කරු-විකිණුම්කරුවන්ගේ හමුව මාලදිවයින තුළ පැවැත්වීම සඳහා සංවිධායකයන් සිදු කළ විශිෂ්ට සංවිධායක කටයුතු පිළිබඳව ශ්‍රී ලාංකික සමාගම් සිය සතුට පළ කළහ.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

මාලේ

2022 සැප්තැම්බර් 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close