නෙදර්ලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිවරිය, නෙදර්ලන්තයේ රජතුමා වෙත සිය අක්තපත් පිළිගන්වයි

නෙදර්ලන්ත රාජධානියේ ශ්‍රී ලංකා තානාපතිවරිය, නෙදර්ලන්තයේ රජතුමා වෙත සිය අක්තපත් පිළිගන්වයි

නෙදර්ලන්ත රාජධානිය සඳහා අභිනවයෙන් පත් කරන ලද තානාපති අරුණි රණරාජා මැතිනිය 2021 අප්‍රියෙල් 21 වැනි බදාදා හේග් හි රාජකීය මාළිගාවේ දී නෙදර්ලන්තයේ රජතුමා වන විලෙම්-ඇලෙක්සැන්ඩර් රජු වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය. අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව, පිළිගැනීමේ උත්සවයක් සහ එම දෙපළ අතර සාකච්ඡාවක් පැවැත්විණ.

තානාපති රණරාජා මැතිනිය සාදරයෙන් පිළිගත් විලෙම්-ඇලෙක්සැන්ඩර් රජතුමා, එතුමියගේ ධූරය වෙනුවෙන් සුබ පැතීය. දෙරට අතර දැනට පවත්නා මිත්‍රත්වය හා සහයෝගීතාව සඳහා ස්ථිර පදනමක් වෙමින්, නෙදර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර පවත්නා ශතවර්ෂ ගණනාවක් පැරණි ඓතිහාසික හා සංස්කෘතික බැඳීම් මත පදනම් වූ සහයෝගීතාව සහ මිත්‍ර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමේ අවශ්‍යතාව රජතුමා සඳහන් කළේය. ඒ හා සමාන හැඟීම් බෙදාහදා ගනිමින්, තානාපති රණරාජා මැතිනිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ ජනතාවගේ ආචාරය හා සුබ පැතුම් එක් කළ අතර, ඒ සඳහා උණුසුම් ප්‍රතිචාර හිමිවිය.

ජනාධිපති හා පාර්ලිමේන්තු මැතිවරණවලින් අනතුරුව, ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන හා ආර්ථික ප්‍රවණතා සහ “සෞභාග්‍යයේ දැක්ම” ජාතික ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීම පිළිබඳව තානාපති රණරාජා මැතිනිය රජුට විස්තර කළාය. මේ වසරේ දී ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය ‍සිය රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල වසර 70 ක වැදගත් සන්ධිස්ථානයක් කරා ළඟා වී ඇති බව පැවසූ එතුමිය, නෙදර්ලන්ත රාජධානිය සමඟ සියලු නියැලීම් ක්ෂේත්‍රවල පවත්නා බහුවිධ සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ පවතින දැඩි කැපවීම ප්‍රකාශ කළාය. වෙළඳ හා ආයෝජන, කෘෂිකාර්මික, ජල කළමනාකරණය, මානව සම්පත් සංවර්ධනය, සමුද්‍රීය කටයුතු, ව්‍යාපාර ක්‍රියාවලි/දැනුම් ක්‍රියාවලි බාහිරකරණය, සංචාරක කටයුතු සහ ගුවන් සේවා යන ක්ෂේත්‍ර මෙන්ම අන්තර් පුද්ගල සබඳතා පවත්වා ගැනීම ද මෙයට ඇතුළත් වන බව එතුමිය පැවසුවාය. රජතුමා විශේෂයෙන් නෙදර්ලන්තයේ සංචාරක ක්ෂේත්‍රයේ පවතින විශාල අවස්ථා පෙන්වා දුන් අතර, මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස ශ්‍රී ලංකාවට ආරාධනා කළේය.

මෙම උත්සවය සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මහලේකම් පී.එච්.ඒ.එම්. හුයිජ්ට්ස් මහතා සහ රාජකීය ගෘහස්ථ කාර්යය මණ්ඩල ප්‍රධානී සී. බ්‍රීඩ්වෙල්ඩ් යන මහත්වරු සහභාගී වූහ.

25 වසරක සේවා කාලයක් සහිත වෘත්තීය රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන තානාපති අරුණි රණරාජා මැතිනිය මීට පෙර පිලිපීන ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ලෙස සේවය කර ඇති අතර, බෙල්ජියම් රාජධානිය සහ යුරෝපා සංගමය, තායිලන්ත රාජකීය රාජධානිය, රුසියානු සමූහාණ්ඩුව සහ ඉතාලි ජනරජය එතුමිය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සේවය කළ අනෙකුත් රාජ්‍යයන් අතර වෙයි. එතුමිය වර්තමානයේ නෙදර්ලන්ත රාජධානිය සඳහා ශ්‍රී ලංකා තානාපති ලෙස වැඩ භාර ගැනීමට පෙරාතුව  කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියා හා සාර්ක් අංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස සේවය කළාය. කියෙව් හි යුක්රේන රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා සිටින තානාපති රණරාජා මැතිනිය, මහනුවර මහාමයා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
හේග්

2021 අප්‍රේල් 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close