ශ්‍රීමාල් වික්‍රමසිංහ මැතිතුමා සීෂෙල්ස් ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

ශ්‍රීමාල් වික්‍රමසිංහ මැතිතුමා සීෂෙල්ස් ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගන්වයි

මහ කොමසාරිස් ශ්‍රීමාල් වික්‍රමසිංහ මැතිතුමා 2021 අප්‍රේල් 20 වැනි දින සීෂෙල්ස් ජනරජයේ ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වීය. සීෂෙල්ස් හි රාජ්‍ය මන්දිරයේ දී පැවති මෙම උත්සවය සඳහා විදේශ කටයුතු හා සංචාරක කටයුතු අමාත්‍යවරයා, විදේශ කටයුතු පිළිබඳ ප්‍රධාන ලේකම්වරයා, විදේශ කටයුතුවල ද්විපාර්ශ්වික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ මහ කොමසාරිස් කාර්යාලයේ සහායක යන අය සහභාගී වූහ.

අක්තපත්‍ර පිළිගැන්වීමෙන් අනතුරුව, මහ කොමසාරිස් වික්‍රමසිංහ මැතිතුමා සීෂෙල්ස් හි උප ජනාධිපති ගරු අහමඩ් අෆිෆ් මැතිතුමා, වික්ටෝරියාහි නගරාධිපති ඩේවිඩ් ඇන්ඩ්‍රේ මැතිතුමා, ධීවර අමාත්‍ය ගරු ජීන් ෆ්‍රැන්කොයිස් ෆෙරාරි මැතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍ය ගරු පෙගී විඩොට් මැතිනිය සමඟ  වෙන් වෙන් වශයෙන් සාකච්ඡා පැවැත්වීය. මහ කොමසාරිස්වරයා මෙහි දී මිත්‍ර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ දෙරට අතර සහයෝගීතාව නව මට්ටමක් කරා ගෙන ඒම සඳහා සිය අභිප්‍රාය පිළිබඳ විස්තර කළේය.

මහ කොමසාරිස්වරයාට සුබ පැතූ අතිගරු ජනාධිපතිවරයා, එතුමාගේ නව ධූරයේ සාර්ථකත්වය ප්‍රාර්ථනා කළ අතර, දෙරට අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවති ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව උණුසුම් ලෙස සිහිපත් කළේය.

නිල ඡායාරූපයකට පෙනී සිටීම සහ ‘ජාතික ගෞරව දැක්වීමක්’ ලෙස උත්තමාචාර පිරිනැමීම ද මෙම උත්සවයට ඇතුළත් විය.

අතීත අත්දැකීම් සහිත ශ්‍රී ලාංකික රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන ශ්‍රීමාල් වික්‍රමසිංහ මැතිතුමා, ඔස්ට්‍රියාවේ හිටපු නියෝජ්‍ය ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී සහ 2009 සිට 2015 දක්වා වියානාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කළේය.

එතුමා මීට පෙර ග්‍රීසියේ ජාත්‍යන්තර ඔලිම්පික් ඇකඩමියේ ආදි ශිෂ්‍ය සංගමයේ මහ ලේකම්වරයා වූ අතර, එක්සත් රාජධානියේ පෞද්ගලික අංශයේ සේවය කොට ඇත. ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් ලබා ගැනීම පිණිස එතුමා යුරෝපයේ විශාලතම බැංකු සමඟ වෙළඳ හා ආර්ථික සබඳතා සහ සාකච්ඡා රැසකට සහභාගී වී ඇත.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය
වික්ටෝරියා

2021 අප්‍රේල් 25 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close