නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දීර්ඝ කාලීනව සේවයේ නියුතු කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත උපහාර පිරිනමයි

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දීර්ඝ කාලීනව සේවයේ නියුතු කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත උපහාර පිරිනමයි

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තිස් වසරකට වැඩි කාලයක් සේවයේ නියුතු පිරිසකගේ දීර්ඝ කාලීන කැපවීමෙන් යුත් සේවය ඇගයීමට ලක්කිරීමක් වශයෙන් දින 6ක ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට ඔවුන්ට අවස්ථාව හිමිවිය. ඒ සඳහා මහ කොමසාරිස් කාර්යාලයීය කාර්ය මණ්ඩලයේ දීර්ඝ කාලයක් මුළුල්ලේ සේවය කළ සාමාජිකයින් පස් දෙනෙකු සහ ඔවුන්ගේ අඹුසැමියන් ඇතුළත් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායම අඟහරුවාදා (07) දින ශ්‍රී ලංකාව බලා පිටත්විය.

දින හයක් සහ රාත්‍රී පහක් ඇතුළත් මෙම ශ්‍රී ලංකා සංචාරයේ දී ඔවුන් කොළඹ, මහනුවර, නුවරඑළිය සහ බෙන්තොට යන ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතය. එමෙන්ම මෙම පිරිස කොළඹ විදේශ අමාත්‍යාංශයට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන අතර මහනුවර දී ශ්‍රී දළදා මාලිගාව ද වැඳපුදා ගැනීමට ද නියමිතය.

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ වසර 37ක් සේවය කළ ජ්‍යෙෂ්ඨ ප්‍රධාන ලේකම් දීපක් නතානි, වසර 30ක් සේවය කළ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී රේණු ශර්මා, වසර 41ක සේවයක් හිමි පිළිගැනීමේ නිලධාරිනී කේ.සී. ශර්මා, වසර 30ක් සේවය කර ඇති කාර්යාල සහකාර විරේන්ද්‍ර කුමාර් සහ වසර 35ක සේවා කාලයක් ඇති ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරී බිජේන්ද්‍ර පල් යන මහක්ම මහත්මීන් මෙන් ම ඔවුන්ගේ අඹුසැමියන් ද මෙම කණ්ඩායමට ඇතුළත්ය.

දීර්ඝ කාලයක් මුළුල්ලේ සේවය කරන මහ කොමසාරිස් කාර්යාලයීය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සංචාරයක් පිරිනැමීමේ මෙම අදහස ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද්දකි. පසුගිය සෙනසුරාදා (04) දින නවදිල්ලියේ මහා බෝධි විහාරස්ථානයේ දී මහ කොමසාරිස්වරයා විසින් මෙම කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙත ගුවන් ටිකට්පත් සහ හෝටල් වෙන්කරවා ගැනීමේ ලියකියවිලි ලබා දුන් අතර ශ්‍රී ලංකාවට පිටත්ව යාමට පෙර බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් මෙම පිරිසට ආශිර්වාද කරනු ලැබීය.

මෙම කණ්ඩායමේ සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගම් තුනක් විසින් අනුග්‍රහය දක්වන ලදි.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2021 දෙසැම්බර් 0​9 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close