“ ලංකා නිෂ්පාදන- ගොඩනැගෙන මිත්‍රත්වය” 2021- ප්‍රදර්ශනයේ නියෝජිතයන් සහ තේ පාර්ශ්වකරුවන් ටෙහෙරානයේ දී හමුවෙති

“ ලංකා නිෂ්පාදන- ගොඩනැගෙන මිත්‍රත්වය” 2021- ප්‍රදර්ශනයේ නියෝජිතයන් සහ තේ පාර්ශ්වකරුවන් ටෙහෙරානයේ දී හමුවෙති

ඉරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලංකා තේ මණ්ඩලය සමඟ එක්ව, 2021 දෙසැම්බර් 06 වැනි දින සිය චාන්සරි පරිශ්‍රයේ දී “ලංකා නිපැයුම්- ගොඩනැගෙන මිත්‍රත්වය” නමින් 2021 වර්ෂය සඳහා කෘෂි අපනයන ප්‍රදර්ශනයක් තේ පාර්ශ්වකරුවන්ගේ එකතුවක සහභාගීත්වයෙන් සංවිධානය කළේ ය.  තේ සංගම්, ප්‍රමුඛ පෙළේ ආනයනකරුවන්, සිල්ලර වෙළෙන්දන්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු අදාළ පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත ආරාධිතයින් 75 දෙනෙකුට අධික පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ තේ සහ අනෙකුත් කෘෂි අපනයන නිෂ්පාදන ඉරානය තුළ ප්‍රවර්ධනය කිරීම සහ අදාළ පාර්ශවකරුවන් සමඟ අන්තර් ක්‍රියා පැවැත්වීම මෙම උත්සවයේ අරමුණ විය.

පිළිගැනීමේ කතාව පැවැත්වූ තානාපති විපුලතේජ විශ්වනාත් අපෝන්සු මැතිතුමා, ටෙහෙරානයේ තේ පාර්ශ්වකරුවන්ගේ එකමුතුව සමඟ එක්ව ප්‍රථම වරට පැවැත්වූ මෙම කෘෂි අපනයන ප්‍රදර්ශනයේ වැදගත්කම පිළිබඳව සඳහන් කළ අතර, ලංකා තේ සහ අනෙකුත් ආහාර පාන නිෂ්පාදනවල ඇති සුවිශේෂී ලක්ෂණ සහ සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් පිළිබඳව අවධාරණය කළේ ය. ශ්‍රී ලංකාවේ කෘෂි අපනයන නිෂ්පාදන ඉරානය තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා මෙන්ම, විශේෂයෙන්ම ඉරානය තුළ ලංකා තේ වෙළෙඳපොළ අඛණ්ඩව රඳවා තබා ගැනීමට සහයෝගය ලබා දෙන ලෙස සහභාගී වූ සියලුම දෙනාගෙන් එතුමා ඉල්ලා සිටියේ ය.

ප්‍රධාන දේශනය පැවැත්වූ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහතා ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය, තේ නිෂ්පාදන ආශ්‍රිත උසස් තත්ත්ව පාලන ක්‍රම, ශ්‍රී ලංකාවේ තේ අපනයන වෙළෙඳපොළ තුළ පවතින වත්මන් තත්ත්වය, අනාගත සැලසුම් සහ ඉරානය තුළ ලංකා තේ ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන ඉලක්ක සහ උපායමාර්ග පිළිබඳ සමස්ත අදහසක් ඉදිරිපත් කළේ ය. ලෝක තේ වෙළෙඳපොළ පිළිබඳව කරුණු ඉදිරිපත් කළ සභාපතිවරයා, ඉරානය ලෝක වෙළෙඳපොළේ විශාලතම තේ ගැනුම්කරුවන් හත් දෙනා අතර සිටින බැවින්, ඉරානය ශ්‍රී ලංකාවට වැදගත් වෙළෙඳපොළක් වන බව පැවසී ය.

මෙම උත්සවයේ අන්තර් ක්‍රියාකාරී සැසිය තුළින් ඉරානයේ තේ ආනයනකරුවන්ට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරීන් හරහා සිය ගැටලු, බාධක සහ අභියෝග සෘජුව විසඳා ගැනීමට වේදිකාවක් නිර්මාණය කෙරිණි. ඉරාන තේ සංගමයේ සභාපති  හම්ඩ්රේසා මොවාසාගි මහතා  විසින් මෙම ප්‍රදර්ශනය විවෘත කෙරුණු අතර, ලංකා තේ, කුළුබඩු, වියළි පලතුරු සහ ඔසු පැල ඇතුළු අනෙකුත් කෘෂිකාර්මික අපනයන නිෂ්පාදන රැසක් එතුළින් විදහා දැක්විණි.

කෙටි අදහස් දැක්වීමක් සිදු කළ සභාපති මහිඩ්රේසා මොවාසාගි මහතා, ප්‍රදර්ශනය සඳහා තමන්ට ඇරයුම් කළ  ශ්‍රී ලංකා තානාපතිවරයාට සහ කාර්ය මණ්ඩලය වෙත සිය ස්තුතිය පුද කළ අතර, මෙදින සාර්ථකත්වය සඳහා දායක වූ ප්‍රදර්ශනයේ සහ තේ පාර්ශ්වකරුවන්ගේ එකතුවේ නියෝජිතයන් අගය කළේ ය. ලංකා තේ ඉරානය තුළ ප්‍රචලිත කිරීමට තම සංගමයේ උපරිම සහයෝගය ලබා දෙන බවට සහතික වූ එතුමා, ඉරාන ප්‍රමිතීන්ට අනුකූලව හොඳම තත්ත්වයේ තේ අපනයනය කිරීම අඛණ්ඩව සිදු කරන ලෙස ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ආදිත්‍ය ආයුර්වේද රෝහලේ වෛද්‍ය සරත් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ “ආයුර්වේද” නිෂ්පාදනවලින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව සිදු කළ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සහභාගී වූ පිරිස මහත් උනන්දුවක් දැක්වූහ. ලංකා තේ පිළිබඳ වාර්තා චිත්‍රපටයක් ද මෙහිදී ප්‍රදර්ශනය කෙරිණි.

තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද ඉහළ පෙළේ  තේ පැන් සංග්‍රහයක් සහභාගී වූ පිරිස වෙත පිරිනමන ලදී. තවද, සියලුම අමුත්තන් සඳහා ශ්‍රී ලංකාවේ තේ පැකැට්ටු සහ සිහිවටන තිළිණ කෙරිණි.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙහෙරාන්

2021 දෙසැම්බර් 0​9 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close