දෝහා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “Explore Sri Lanka”- Qatar MENASA 2022,  ‘Years of Culture’ නමැති උළෙල පවත්වයි

දෝහා නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය “Explore Sri Lanka”- Qatar MENASA 2022,  ‘Years of Culture’ නමැති උළෙල පවත්වයි

“Explore Sri Lanka” - Qatar MENASA 2022 ‘Years of Culture’නමින් දෙදිනක් මුළුල්ලේ පැවති ශ්‍රී ලංකාවේ සංස්කෘතික උත්සවයක්,2022 සැප්තැම්බර් 09 - 10යන දිනවල දෝහා-කටාර් හි අධ්‍යාපන නගරයේ දී පැවැත්විණි. දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකික ප්‍රජා සංවිධාන සමඟ එක්ව මෙම උත්සවය සංවිධානය කළේය.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, කලාව, හස්ත කර්මාන්ත, ඉතිහාසය, ආගම, ලංකා තේ සහ ශ්‍රී ලාංකික ජීවන රටාව සහ කුසලතා ආදිය කටාර් රාජ්‍යයේ ජනතාවට සහ විදේශගත ප්‍රජාවට විදහා දැක්වීම සඳහා මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ඉතා වැදගත් අවස්ථාවක් විය.

දෝහා නුවර ස්ටැෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ සහ දිනූ නර්තන ඇකඩමියේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලද සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික නර්තනාංග සහ බෙර වාදන මෙම උත්සවය විචිත්‍රවත් කළ අතර, උඩරට නර්තනය, ප්‍රශස්ති නර්තනය, අවුරුදු කාලයට ආවේණික නර්තන සහ ජන නැටුම් ආදිය ඔස්සේ දේශීය හා විදේශීය ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමට ඔවුහු සමත් වූහ. මෙම උත්සවයේ  ආකර්ෂණය දිනාගත් තවත් එක් අංගයක් ලෙස උඩරට, හින්දු, ඉස්ලාම් සහ කතෝලික යන සංස්කෘතීන් හතර නියෝජනය කරමින් පැවැත්වූ මනාලියන් දැක්ම හැඳින්විය හැකිය.

ශ්‍රී ලංකාවේ කලා නිර්මාණ හා අත්කම්, ආහාර සහ ලංකා තේ ප්‍රදර්ශනය කිරීම සහ අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන වෙළෙඳ කුටි ගණනාවක් එම පරිශ්‍රය තුළ ස්ථාපිත කොට තිබිණි.ශ්‍රී ලංකාවේ අත්කම් භාණ්ඩ, බතික්, විවිධ පිත්තල භාණ්ඩ සහ වෙස් මුහුණු ආදිය මෙම කුටි මඟින් ප්‍රදර්ශනය කෙරිණි."ගමේ කඩේ" නමැති කුටිය මඟින් ශ්‍රී ලංකාවේ විවිධ සම්ප්‍රදායික ආහාර වර්ග රැසක් පැමිණ සිටි අමුත්තන්ට පිරිනමන ලදි. ලෝක මට්ටමේ සුවතා නිකේතන, ඓතිහාසික හා සමකාලීන වශයෙන් වැදගත්කමක් සහිත අරුමපුදුම ස්ථාන, අව්‍යාජ ආහාරපාන සහ ස්වභාවධර්මයෙන් සහ හරවත් සංස්කෘතියෙන් ආශීර්වාද ලත් අද්විතීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඔස්සේ ශ්‍රී ලංකාව සෞඛ්‍ය සම්පන්න සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද මෙම අවස්ථාවට සහභාගී විය.

කටාර් මියුසියම්ස් හි සභාපති වන ෂෙයිකා අල් මයස්සා බින්ට් හමාඩ් බින් කලීෆා අල් තානි මැතිනියගේ ප්‍රධානත්වයෙන් වැඩිදියුණු කරන ලද “Years of Culture” නමැති වාර්ෂික මුලපිරීමට අනුව, කටාර් මියුසියම්ස් සහ කටාර් පදනමේ සහය සහ මඟපෙන්වීම මත මෙම සංස්කෘතික උත්සවය සංවිධානය කෙරිණි.

“Years of Culture” යනු රටවල් සහ එම රටවල ජනතාව අතර පවත්නා අවබෝධය ශක්තිමත් කරන ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරු වැඩසටහනකි. සිය 10 වැනි සංවත්සරය සමරන ‘Years of Culture 2022’ මැද පෙරදිග, උතුරු අප්‍රිකාව සහ දකුණු ආසියාව (MENASA) යන කලාප මඟින් වැඩසටහන් ඉදිරිපත් කරයි. කටාර් රාජ්‍යය සමස්ත කලාපයක් (MENASA) සමඟ හවුල් වී කටයුතු කරන පළමු අවස්ථාව මෙය වේ.

Qatar-MENASA Years of Culture 2022උත්සවය කටාර් හි විදේශ කටයුතු අමාත්‍යංශය, කටාර් පාපන්දු සංගමය, කටාර් පදනම, කටාර්මියුසියම්ස් ඇතුළු කටාර් හි ප්‍රමුඛ සංවිධාන සමඟ සහයෝගයෙන් සහ ඊට සහභාගී වූ රටවල දෝහා හි පිහිටි තානාපති කාර්යාලවල සහය ඇතිව සංවිධානය කෙරිණි.

උත්සවය අතරතුර සිය ප්‍රධාන දේශනය පැවැත්වූ  තානාපති එම්. මෆාස් මොහිදීන් මැතිතුමා, කටාර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර පවතින සුහද, දිගුකාලීන මිත්‍ර සබඳතාව සහ දේශපාලනික සබඳතා පිළිබඳව අදහස් පළ කළේය.දෙරටේ ජනතාව සමීප කිරීම, සංවාද දිරිගැන්වීම සහ ජාතීන් අතර අවබෝධය ගැඹුරු කිරීම යනාදිය සඳහා ඉවහල් වන වඩාත් ඵලදායී මෙවලමක් ලෙස සංස්කෘතිය හඳුනාගත හැකිබව සඳහන් කළ තානාපතිවරයා, මෙම සංස්කෘතික සහයෝගීතාව හරහා දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා දෙරටේම ප්‍රයෝජනය සඳහා තවදුරටත් වැඩිදියුණු වනු ඇති බව යළිදු අවධාරණය කළේය.

කටාර් මියුසියම්ස්, කටාර් පදනම සහ කටාර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යංශය මෙම ප්‍රයත්නය සඳහා ලබා දුන් ඉමහත් සහයෝගය සම්බන්ධයෙන් තානාපතිවරයා සිය කෘතඥතාව පළ කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

දෝහා

2022 සැප්තැම්බර් 14 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close