2022 සැප්තැම්බර් 12 වැනි දින ජිනීවා හිදී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි නිත්‍ය සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය

2022 සැප්තැම්බර් 12 වැනි දින ජිනීවා හිදී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි නිත්‍ය සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් කරන ලද ප්‍රකාශය

සභාපතිතුමනි,

වැඩ බලන මහ කොමසාරිස්තුමියනි,

සම්භාවනීය මැතිවරුනි,

ආරම්භයේදීම, අපගේ රජය වෙනුවෙන්, අපගේ ජනතාවගේ මානව හිමිකම් ඉදිරියට ගෙනයාම, සුරක්ෂිත කිරීම සහ ආරක්ෂා කිරීම සහ මෙම කවුන්සිලය  සමඟ සහයෝගිතාවයෙන් හා සංවාදය තුළින් අපගේ සම්බන්ධය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වන අපගේ නොසැලෙන කැපවීම මම යළි අවධාරණය කරමි. 46/1 වැනි යෝජනාව අපි තරයේ ප්‍රතික්ෂේප කළද, අපගේ කැපවීමට එකඟව, අපි ශ්‍රී ලංකාවේ සවිස්තරාත්මක ලිඛිත ප්‍රතිචාරය මහ කොමසාරිස්වරියගේ වාර්තාව සඳහා ඉදිරිපත් කර ඇත්තෙමු. යහපත් පරිචයන්ට අනුව, ශ්‍රී ලංකාවේ අදහස් මෙම වාර්තාවට අතිරේකයක් ලෙස තබන මෙන් අපි ඉල්ලා සිටිමු.

සභාපතිතුමනි,

මෑත අතීතයේ දී සිදු වූ සිදුවීම් පිළිබඳව අපි දැනුවත්ව සහ දැඩි ලෙස සංවේදීව සිටිමු. අභ්‍යන්තර හා බාහිර සාධකවලින් පැන නගින දරුණු ආර්ථික අර්බුදය අප සැමට බොහෝ පාඩම් සපයයි. වියානා ප්‍රකාශනයේ සහ ක්‍රියාකාරී වැඩසටහනේ දක්වා ඇති පරිදි, මානව හිමිකම් බෙදා වෙන්කළ නොහැකි බව මෙම සන්දර්භය තුළ  අපි සිහිපත් කරමු. අපගේ ජනතාව මුහුණ දෙන සමාජ-ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් රජය අතිශයින් සංවේදී වන අතර, ප්‍රජාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් ලබාදීම තුළින් අභියෝගවලට මුහුණ දීම සහ ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා ක්ෂණික බහුවිධ ක්‍රියාමාර්ග ආරම්භ කොට ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ ඇති අතර, ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කෙරෙමින් පවතී. අර්බුදයේ අහිතකර බලපෑම්වලින් වඩාත් අවදානමට ලක්විය හැකි අයවලුන් ආරක්ෂා කිරීම සඳහා රජය එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන මෙන්ම ද්විපාර්ශ්වික හවුල්කරුවන් සමඟ ද සංවාදයක යෙදී සිටී. බහුවිධ අභියෝග මධ්‍යයේ වුවද, තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රයේ ඉලක්ක සපුරා ගැනීමේ මාර්ගයෙහි රැඳී සිටීම සඳහා ශ්‍රී ලංකාව උත්සාහ දරනු ඇත.

අපගේ දිගුකාලීන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සහ සම්මතයන් ආරක්ෂා කිරීම සඳහා අපගේ අඛණ්ඩ කැපවීම සම්බන්ධයෙන්, මෑතකාලීනව සිදු වූ වෙනස්කම් සාක්ෂි දරයි. සාමකාමීව රැස්වීමට සහ අදහස් ප්‍රකාශ කිරීමට ඇති ව්‍යවස්ථාමය අයිතිවාසිකම් මඟින්, අපගේ ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සහතික කෙරිණ. මේ සම්බන්ධයෙන්, එවැනි නිදහසක් ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අභිලාෂකාමී අවශ්‍යතා ඇති කොටස් විසින් අපයෝජනය කරන ලද අවස්ථා වලදී, සාපරාධී සහ නීති විරෝධී ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කරන ලදී.

සභාපතිතුමනි,

දැඩි බාධාවන් සහ අභියෝග මධ්‍යයේ වුවද, ස්වාධීන දේශීය ආයතන හරහා මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රතිසන්ධානය සඳහා ස්පෘෂ්‍ය ප්‍රගතියක් ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකාව දැඩි ලෙස කැපවී සිටී.

එහි නීත්‍යානුකූලභාවය සහ අරමුණු සමඟ මූලික වශයෙන් එකඟ නොවෙමින්, මෙම කවුන්සිලයේ සාමාජිකයින් කිහිප දෙනෙකු සමඟ ශ්‍රී ලංකාව 46/1 යෝජනාවට විරුද්ධ වී ඇත. මෙම යෝජනාවේ අන්තර්ගතය, විශේෂයෙන්ම එහි 06 වැනි ක්‍රියාකාරී ඡේදය, ශ්‍රී ලංකාවේ ජනතාවගේ පරමාධිපත්‍යය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලධර්ම උල්ලංඝනය කරන බව අපි නිරන්තරයෙන් ඉස්මතු කොට ඇත්තෙමු. යළිත් වරක්, මෙම යෝජනාවට අදාළ පසු විපරම් ක්‍රියාමාර්ග මෙන්ම මහ කොමසාරිස්වරයාගේ අදාළ නිර්දේශ සහ නිගමන තරයේ ප්‍රතික්ෂේප කිරීමට අපට බලකෙරේ.

සභාපතිතුමනි,

මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ “ආර්ථික අපරාධ” පිළිබඳව පුළුල් ලෙස සඳහන් වන බව මෙහි දී නිරීක්ෂණය වේ. මෙම පදයේ ඇති බහුඅර්ථතාව හැරෙන්නට, එවැනි සඳහන් කිරීම් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ වරම ඉක්මවා යාම කනස්සල්ලට කරුණකි. මෙම සන්දර්භය තුළ, එක්සත් ජාතීන්ගේ මහ සමුළුවේ යෝජනා අංක 60/251, 48/141 සහ IB පැකේජය පිළිපැදීමේ පරම වැදගත්කම අපි සිහිපත් කරමු.

එසේ වුවද, පාලනය තවදුරටත් ශක්තිමත් කිරීම සහ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා ස්ථාපිත කෙරෙන විස්තීරණ නීතිමය රාමුව පිළිබඳව ශ්‍රී ලංකාව දිගින් දිගටම මෙම කවුන්සිලය දැනුවත් කර ඇත. යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ ප්‍රධාන ආයතනවල ස්වාධීන අධීක්ෂණය මෙන්ම මහජන පරීක්ෂාව, පාලනයට සහභාගී වීම සහ එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි ප්‍රඥප්තිය (UNCAC) ව්‍යවස්ථාපිතව පිළිගැනීම ඇතුළුව, ප්‍රජාතාන්ත්‍රික පාලනය ශක්තිමත් කරන කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් හඳුන්වා දෙයි. අනෙකුත් කරුණු අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සහ විගණන සේවා කොමිෂන් සභාව නැවත හඳුන්වාදීම මෙයට ඇතුළත් වේ. යෝජිත නෛතික රාමුව මගින්, වත්කම් ප්‍රකාශ කිරීමේ ක්‍රමය ශක්තිමත් කිරීම, අනාවරණ සිදුකරන්නන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ ස්වාධීනත්වය ඉහළ නැංවීම ද සිදුවනු ඇත. රාජ්‍ය ආයතනවල සිදුවන වංචා, නාස්තිය සහ අපයෝජනයන් හඳුනාගෙන ඒවා වළක්වාලමින් රාජ්‍ය වියදම් අධීක්‍ෂණය කිරීම සඳහා පොලිස්පතිවරයකුට සමාන නිලධරයෙකු පත්කිරීම පිණිස ක්‍රමවේදයක් පිහිටුවීමේ යෝජනාවක් පිළිබඳව සලකා බැලෙමින් පවතී.

සභාපතිතුමනි,

දේශීය සංහිඳියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ක්‍රියාමාර්ග අර්ථවත් සහ තිරසාර වීමට නම්, ඒවා අදාළ රට සමඟ පවතින සහයෝගිතාව මත පදනම් විය යුතු අතර, එහි ජනතාවගේ අභිලාෂයන් සමඟ අනුකූල විය යුතු මෙන්ම, එහි මූලික නීති රාමුවට අනුකූල විය යුතුය. ව්‍යවස්ථා විරෝධී සහ ආක්‍රමණශීලී බාහිර මුලපිරීම් මඟින් අර්ථවත් ප්‍රතිඵල ලබා දීමට නැවත නැවතත් අපොහොසත් වී ඇති බවත්, ඒවා සාමාජික රාජ්‍ය සම්පත්වල ඵලදායී නොවන නාස්තියක් බවට ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත්ව සිටී.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ විශ්වසනීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා රජය උත්සාහ දරනු ඇත. ශ්‍රී ලංකාවේ විශේෂිත තත්වයන්ට ගැලපෙන එවැනි ආකෘතියක සමෝච්ඡයන් පිළිබඳව සාකච්ඡා කෙරෙමින් පවතී.

“පෙර කොමිෂන් සභා සහ කමිටුවල සොයාගැනීම් තක්සේරු කිරීම සහ ඉදිරි මාවත” පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශයන්, අනෙකුත් කරුණු අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ උපදේශක මණ්ඩලයක් පිහිටුවීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ප්‍රගතිශීලී සංශෝධන සිදුකිරීම සහ රැඳවියන් නිදහස් කිරීම සඳහා හේතු වී ඇත. වැඩිදුර නිර්දේශ අපේක්ෂාවෙන් පවතී.

මානව හිමිකම් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීමේ බැරෑරුම් කර්තව්‍යය මේ වසරේ දී අප විසින් ඉටු කරන ලද බැවින්, ජාත්‍යන්තර විශිෂ්ට පරිචයන්ට අනුකූලව වඩාත් පුළුල් ජාතික ආරක්‍ෂක නීති සම්පාදනයකින් අපි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රතිස්ථාපනය කරන්නෙමු. මෑතදී සිදු කරන ලද කණ්ඩායම් සහ පුද්ගලයන් ලැයිස්තුවෙන් ඉවත් කිරීම මඟින් නිර්මාණාත්මක සංවාදයක් සඳහා තවදුරටත් දිරිගැන්වීමක් ලබා දෙනු ඇත.

වින්දිතයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයිතිවාසිකම් ඉදිරියට ගෙනයාම සහ වන්දි ගෙවීම සඳහා පිහිටුවා ඇති ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතන, ඒවායෙහි අදාළ වරම ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කරයි.

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) විසින් විමර්ශන සහ සත්‍යාපනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර, සොයාගැනීම සහ වින්දිතයන් සහ පවුල්වලට සහාය වීම සඳහා වෙනම ඒකක පිහිටුවා, අදාළ අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳ නිරීක්ෂකයෙකු ලෙස ක්‍රියා කරයි.

ආර්ථික බාධාවන් මධ්‍යයේ වුවද, වන්දි ගෙවීම සඳහා වන කාර්යාලය (OR) එහි වරම අඛණ්ඩව ලබා දෙන අතර, මෑතක දී සම්මත කරන ලද ජාතික වන්දි ප්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ මගින් කාර්යාලයේ කාර්යය මුදල් වන්දි ගෙවීමෙන් ඔබ්බට, වෙනත් ආකාරයේ සහාය ලබාදීම දක්වා පුළුල් කර ඇත.

ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය (ONUR) සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) හි ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සහයෝගය සහ සම්පත් අඛණ්ඩව සපයනු ලැබේ.

විදේශගත ශ්‍රී ලාංකිකයන් සඳහා කාර්යාලයක් පිහිටුවීම හරහා සියලුම ප්‍රජාවන් සහ පරම්පරා ආවරණය වන පරිදි එතෙර සිටින ශ්‍රී ලාංකිකයන් වෙත ළඟාවීම පුළුල් කෙරෙන අතර, එමඟින් වඩාත් ප්‍රබල ලෙස සම්බන්ධ වීම සඳහා පහසුකම් සැලසේ.

සභාපතිතුමනි,

විශ්ව ප්‍රකාශනය මඟින් පිළිගෙන ඇති පරිදි, මානව හිමිකම් යනු අන්‍යෝන්‍ය වශයෙන් රඳා පවතින, අන්තර් සම්බන්ධිත මෙන්ම වෙන්කළ නොහැකි ඒවාය. මානව හිමිකම් ආරක්ෂා කිරීමේදී, අනෙකුත් රටවල්වල මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි පවතින සැලකිය යුතු විශේෂඥ දැනුමෙන් අපි ප්‍රතිලාභ ලබා ඇත්තෙමු. අපි ඉදිරියට යන විට සහ අවශ්‍ය යැයි සලකන විශිෂ්ට පරිචයන් පිළිබඳ වැඩිදුර උපදෙස් සහ සහාය ලබා ගන්නෙමු.

අපි මානව හිමිකම් කවුන්සිලය සහ එහි යාන්ත්‍රණයන් සමඟ අපගේ සහයෝගීතාවය දිගටම පවත්වාගෙන යන්නෙමු. ශ්‍රී ලංකාව ප්‍රධාන මානව හිමිකම් සම්මුතීන් 9 හි පාර්ශ්වකරුවෙකු වන අතර, එක්සත් ජාතීන්ගේ ගිවිසුම් ආයතන සමඟ නිත්‍ය හා නිර්මාණාත්මක සම්බන්ධයක් පවත්වා ගෙන ඇත. ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස එක්සත් ජාතීන්ගේ විශේෂ ක්‍රියා පටිපාටි බලතල දරන සියලුම දෙනා වෙත අපි ස්ථාවර ආරාධනයක් කර ඇති අතර, පසුගිය කාලය තුළ දී ඉහළ සංචාර සංඛ්‍යාවක් සඳහා පහසුකම් සලසා ඇත. අපි විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාවලිය හරහා මෙම කවුන්සිලය සමඟ නිර්මාණාත්මක සම්බන්ධයක් අපේක්ෂා කරමු. අපි විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාවලිය සඳහා වන අපගේ කැපවීම් ඉටු කර ඇති අතර, එළඹෙන විශ්ව කාලාන්තර සමාලෝචන ක්‍රියාවලියේ සිවුවැනි චක්‍රයේ ක්‍රියාකාරීව නිරත වන්නෙමු.

අපි මේ වසරේ මැයි සහ අගෝස්තු මාසවල දී මහ කොමසාරිස් කාර්යාලය විසින් නිරත වූ ශ්‍රී ලංකා සංචාර දෙකක් සඳහා පහසුකම් සලසා ඇති අතර, බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දී ඇත. මෙම චාරිකා මඟින් මානව හිමිකම් පිළිබඳ මහ ‍කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන්ට පාර්ශ්වකරුවන් රාශියක් සමඟ සම්බන්ධ වීම සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා අවස්ථාව සැලසුණි.

සභාපතිතුමනි,

ශ්‍රී ලංකාවේ ගැටුම් නිමා වී වසර 13ක් සපිරෙන අතර, ඉන් පසුව ඔවුන්ගේම අභිලාෂයන් සහිත නව පරපුරක් බිහිවී ඇත. සංහිඳියාව සහ වගවීම පිළිබඳ ගැටලු පිළිබඳව දේශීය ක්‍රියාවලියක් හරහා පුළුල් ලෙස නියැලෙන අතරම, දශකයකට වැඩි කාලයක් තිස්සේ කවුන්සිලයේ න්‍යාය පත්‍රයේ අඛණ්ඩව පවතින මෙම යෝජනාවේ ගමන්මග පිළිබඳව යථාර්ථවාදීව මෙනෙහි කොට, එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට ප්‍රතිලාභ ලැබී තිබේද යන්න පිළිබඳ යථාර්ථවාදී තක්සේරුවක් කිරීම සඳහා කාලය එළඹ ඇත. භූමියේ පවතින සැබෑ ප්‍රගතිය පිළිගෙන, ශ්‍රී ලංකාව වෙත සහයෝගය දැක්වීමේ අවශ්‍යතාවක් පවතී.

වත්මන් අභියෝග, බලවත් වුවද, අපගේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා ආයතනික වෙනසක් සඳහා කටයුතු කිරීම සඳහා එමඟින් අපට සුවිශේෂී අවස්ථාවක් ලබා දී ඇත. මෙම අභියෝගාත්මක කාලය තුළ දී අපගේ මිතුරන් සහ හවුල්කරුවන් විසින් දක්වන ලද සහයෝගීතාවය සහ සහය ශ්‍රී ලංකාව අගය කරයි. සමගිය සහ සංහිඳියාව පිළිබඳ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පාර්ලිමේන්තුව අමතා සිය ආරම්භක දේශනය සිදුකරමින් ප්‍රකාශ කළේ, “අප එක් වුව හොත් ජාතිය ප්‍රබෝධමත් කිරීමට හැකිවනු ඇති” බවයි.

සභාපතිතුමනි,

බොහෝ අභියෝග හරහා, ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් ලෙස තම ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කරන අතරම, ස්ථීරව නැඟීසිටීමේ සහ ඔරොත්තු දීමේ හැකියාවක් ශ්‍රී ලංකාවේ ජනතාව සතුව පවතී. අපගේ අභියෝග පිළිගෙන නව ජවයකින් ඉදිරියට යාම සඳහා අපි පසුබට නොවන්නෙමු. ආර්ථික වශයෙන් ප්‍රකෘතිමත් වීම කෙරෙහි අපගේ ක්ෂණික අවධානය යොමුවන අතර, අපගේ ජනතාවගේ මානව හිමිකම් ඉදිරියට ගෙන යාමද ඒ හා සමාන ප්‍රමුඛතාවයකි. අප මෙම මාර්ගයේ ගමන් කරන විට, මෙම කවුන්සිලයේ නිර්ව්‍යාජ සහය සහ අවබෝධය අපි අපේක්ෂා කරමු.

ස්තුතියි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close