තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති තායිලන්ත රාජධානියේ අග්‍රාමාත්‍ය සහ ආරක්‍ෂක අමාත්‍ය ජනරාල් හමුවෙයි

තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති තායිලන්ත රාජධානියේ අග්‍රාමාත්‍ය සහ ආරක්‍ෂක අමාත්‍ය ජනරාල් හමුවෙයි

2021 සැප්තැම්බර් 06 වැනි දින තායිලන්ත රාජධානියේ තානාපති සහ එක්සත් ජාතීන්ගේ ආසියා සහ පැසිෆික් කලාපයේ ආර්ථික හා සමාජ කොමිසමේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත (යුනෙස්කැප්) සී. ඒ. චාමින්දා අයි. කොලොන්නෙ මැතිනිය බැංකොක්හි පිහිටි රාජ්‍ය මන්දිරයේ දී තායිලන්ත අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය ජනරාල් ප්‍රයුත් චාන්-ඕ-චා මැතිතුමා හමුවූවාය.

තානාපති කොලොන්නෙ මැතිනිය, අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන්-ඕ-චා මැතිතුමා වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් සහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් උණුසුම් සුබ පැතුම් එක් කළාය.

සියවස් ගණනාවක් පුරා දෙරට අතර පැවති ථෙරවාදී බෞද්ධ සම්ප්‍රදායන් තුළ දැඩි ලෙස මුල් බැස ගත් දීර්ඝ කාලීන මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ බැඳීම් දෙදෙනාම සිහිපත් කළහ. අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චාන්-ඕ-චා මැතිතුමා ශ්‍රී ලංකා රජය සහ ජනතාව කෙරෙහි පැවති සිය මහත් සෙනෙහස පළ කළේය.

විශේෂයෙන් නව සාමාන්‍යයේ සන්දර්භය තුළ අපනයනය හා ආයෝජනය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව අවධාරණය කරමින්, ද්විපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම (FTA) පිළිබඳ සාකච්ඡා වේගවත් කිරීමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන්-ඕ-චා මැතිතුමා අවධාරණය කළේය. ද්විපාර්ශ්වික ආර්ථික හා වෙළෙඳ සබඳතා ශක්තිමත් කර ගැනීමටත්, වෙළඳාමේ පරිමාව ඉහළ නැංවීමටත්, ජයග්‍රාහී ප්‍රවේශයකින් ආයෝජනය වැඩි දියුණු කිරීමටත් දෙදෙනම සහතික වූහ. තානාපති කොලොන්නෙ මැතිනිය තායිලන්ත ආයෝජකයින්ට කොළඹ වරාය නගරයේ ආයෝජනය කරන ලෙස ආරාධනා කළ අතර, එතුමියගේ ඉල්ලීම මත අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් මැතිතුමා, කොළඹ වරාය කොමිසම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ අතථ්‍ය හමුවීමක් පවත්වන ලෙස තායිලන්තයේ ආයෝජන මණ්ඩලයට නියෝග කළේය.

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගතය යථා තත්ත්වයට පත් කිරීමට සහ කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය සහ කෘත්‍රිම වැසි ඇතිකිරීම යන ක්ෂේත්‍රවල තාක්‍ෂණික සහයෝගය ලබා දීම සඳහා අඛණ්ඩව සහය වන බවට ද අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන්-ඕ-චා මැතිතුමා සහතික විය.

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ උපායමාර්ගික ආර්ථික හවුල්කාරිත්වය (SEP) සහ ‘එක් ගමක් එක් නිෂ්පාදනයක්’ (OVOP) සංකල්පය යටතේ හඳුනාගත් අංශ දහය තුළ තායිලන්ත රජය සමඟ ආර්ථික රාජ්‍යතාන්ත්‍රිකභාවය ප්‍රවර්‍ධනය කිරීම සඳහා වූ එතුමියගේ අභිප්‍රාය ඉස්මතු කරමින්, අන්‍යෝන්‍ය ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා - තායි ද්විපාර්ශ්වික සබඳතා තහවුරු කර ගැනීම සඳහා සිය ධූර කාලය තුළ දී දැඩි කැපවීමක් කරන බවට තානාපති කොලොන්නෙ මැතිනිය සහතික වූවාය.

ජාතීන් දෙක අතර පවතින භාෂා බාධකය ඉවත් කොට ජනතාව අතර සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව, ශ්‍රී ලංකාවේ තායි භාෂාව ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් සහ තායිලන්තයේ සිංහල භාෂාව ඉගැන්වීමේ මධ්‍යස්ථානයක් විවෘත කිරීම සඳහා තානාපති කොලොන්නෙ මැතිනිය ඉදිරිපත් කළ යෝජනාව අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන්-ඕ-චා මැතිතුමා සාදරයෙන් පිළිගත්තේය.

බහු ආංශික තාක්‍ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (BIMSTEC) ආරම්භක සභාපති ලෙස ශ්‍රී ලංකාව ලබා දුන් විශිෂ්ඨ නායකත්වය අගයමින්, ඉදිරියේ දී පැවැත්වෙන පස්වැනි බිම්ස්ටෙක් සමුළුවේ දී සභාපති ධූරය භාර ගැනීමට තායිලන්තය අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන්-ඕ-චා මැතිතුමා පැවසූ අතර, තායිලන්තයේ බිම්ස්ටෙක් පිළිබඳ අනාගත ප්‍රයත්න සඳහා ශ්‍රී ලංකාවේ උපරිම සහයෝගය ලබා දෙන බව තානාපති චාමින්දා කොලොන්නෙ මැතිනිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය ප්‍රයුත් චන්-ඕ-චා මැතිතුමා ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා වෙත සිය උණුසුම් සුභ පැතුම් පිරිනැමීය. කොවිඩ්-19 වසංගතය අවසන් වූ පසුව, අන්‍යෝන්‍ය වශයෙන් පහසු අවස්ථාවක දී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන ලෙස තානාපති චාමින්දා කොලොන්නෙ මැතිනිය අග්‍රාමාත්‍ය ජනරාල් ප්‍රයුත් චන්-ඕ-චා මැතිතුමාට ආරාධනාවක් කළාය.

තායිලන්තයේ අග්‍රාමාත්‍ය උපදේශක බන්සාර්න් බන්නග් මහතා, අග්‍රාමාත්‍ය නියෝජ්‍ය මහලේකම් අනුචා බුරපචයිස්රි මහතා, රජයේ ප්‍රකාශක ආචාර්ය තනකොර්න් වැංබුන්කොංචානා මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියා, මැදපෙරදිග සහ අප්‍රිකානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ඩාර්ම් බූන්තම් මහතා සහ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පළමු ලේකම් සාරිතා රණතුංග මහත්මිය ද මෙම සාකච්ඡාවට එක් වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2021 සැප්තැම්බර් 06 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close