වියානාහි ශ්‍රී ලංකා ආයෝජන සම්මන්ත්‍රණය

වියානාහි ශ්‍රී ලංකා ආයෝජන සම්මන්ත්‍රණය

වියානා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය වියානා වාණිජ මණ්ඩලය (WKO) සමඟ සහයෝගයෙන් යුතුව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රියානු ආයෝජන ප්‍රවර්ධනය කිරීම සඳහා දෙමුහුන් වෙබිනාර් සාකච්ඡාවක් සංවිධානය කළේය.

මෙම දෙමුහුන් වෙබිනාර් සාකච්ඡාව සඳහා, ආසියා සහ පැසිෆික් කලාපයේ කලාපීය කළමනාකරු ජොහැන්නස් බ්‍රනර් මහතා, ඉන්දියාවේ ඔස්ට්‍රියානු තානාපති කාර්යාලයේ වාණිජ සම්බන්ධක නිලධාරී බර්න්ඩ් ඇන්ඩර්සන් සහ ඔස්ට්‍රියානු සමාගම් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ප්‍රසන්න ගුණසේන මහතා, ආයෝජන ප්‍රවර්ධන විධායක අධ්‍යක්ෂ ප්‍රසන්ජිත් විජයතිලක මහතා, ආයෝජන ප්‍රවර්ධන අධ්‍යක්ෂ නිලුපුල් ද සිල්වා මහතා, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පරිසර පද්ධති ප්‍රධානී දර්ශන් මාරලන්ද මහතා, ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උදේනි විජේකෝන් මහත්මිය සහ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීහු ද මෙම උත්සවයට අතථ්‍ය ලෙස සහභාගී වූහ.

කලාපය තුළ, විශේෂයෙන් ලංකාවේ ආයෝජනය කිරීමට කැමත්ත දක්වන සෞඛ්‍ය, පුනර්ජනනීය බලශක්ති, පාරිසරික තාක්‍ෂණය සහ වෘත්තීය පුහුණු අංශ නියෝජනය කරන ඔස්ට්‍රියානු සමාගම් වියානා වාණිජ මණ්ඩලය විසින් තෝරා ගන්නා ලදී. Odelga Med Engineering GmbH, AME International GmbH, Med-El Elektromedizinische Geräte GmbH, VAMED Engineering GmbH, VACE Systemtechnik GmbH, M-U-T Maschinen-Umwelttechnik-Transportanlagen GmbH and Global Hydro Energy GmbH එම සමාගම් වේ.

ඔස්ට්‍රියාහි ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත මජින්ත ජයසිංහ මැතිතුමා සහභාගී වූවන් සාදරයෙන් පිළිගනිමින්, ආර්ථිකයට පරිවර්තනීය බලපෑමක් ඇති කළ හැකි ආයෝජන සඳහා පහසුකම් සැලසීම පිණිස ශ්‍රී ලංකාව අභිලාෂකාමී සැලැස්මක් සකස් කර ඇති බව සඳහන් කළේය. වැඩිපුර ආයෝජන ආකර්ෂණය කර ගැනීමට හැකි වාතාවරණයක් ඇති කිරීම සඳහා රජය සිය උපරිමයෙන් කටයුතු කරයි. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රියාව අතර පවතින විශේෂ සබඳතා, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ක්ෂේත්‍ර රාශියක් ආවරණය වන පරිදි වේගයෙන් වර්ධනය වී ඇති බව අවධාරණය කළ තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ ආයෝජනය කරමින් මෙම පරිවර්තනීය ගමනට එක්වන ලෙස සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටියේය.

වියානා වාණිජ මණ්ඩලයෙන් ආසියා සහ පැසිෆික් කලාපයේ කලාපීය කළමනාකරු ජොහැන්නස් බ්‍රනර් මහතා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා මෙම වෙබිනාර් සාකච්ඡාවෙහි වැදගත්කම පිළිබඳව අවධාරණය කළේය. ආයෝජන පුනර්ජනනීය බලශක්තිය, ඖෂධ කර්මාන්තය සහ වෘත්තීය පුහුණුව යන ක්ෂේත්‍ර කෙරෙහි යොමු වී ඇති ඔස්ට්‍රියා ආයෝජන විභවයන් ද පෙන්වා දෙන ලදී. විශේෂයෙන් කොවිඩ් වසංගතය පවතින සමයේ දී ශ්‍රී ලංකාව විසින් මෙම ආයෝජන ආකර්ෂණය කර ගත හැකි ව්‍යාපෘති දියුණු කළ යුතු බව තවදුරටත් අවධාරණය කෙරිණි. ඔස්ට්‍රියාවේ සිට ශ්‍රී ලංකාවට උසස් තත්ත්වයේ ඖෂධ ලබා ගැනීමේ ඉල්ලීම සඳහා පහසුකම් සැලසීමට සහභාගී වූවෝ කැමැත්ත පළ කළහ.

ප්‍රසන්ජිත් විජයතිලක මහතා නැගී එන ආයෝජන අවස්ථා පිලිබඳව විස්තරාත්මක පැහැදිලිකිරීමක් කළේය. තොරතුරු තාක්‍ෂණ සේවා, සංචාරක, ආහාර සැකසීම, සැපයුම්, අධ්‍යාපනය සහ මහා පරිමාණ යටිතල පහසුකම් ඇතුළු විවිධ ආර්ථික අංශවල නියැලී සිටින විදේශ සමාගම් 1,200 කට අධික සංඛ්‍යාවක් සිටින ශ්‍රී ලංකාව ඉතා උද්යෝගිමත් ගමනාන්තයක් ලෙස පවතී. දැනුම පදනම් කරගත් ආර්ථිකයක් මත පදනම්ව ඉදිරි දශකය තුළ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 5-7% ක වර්ධන වේගයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව නිවැරදි මාවතේ ගමන් කරමින් සිටින බව වැඩිදුරටත් සඳහන් කෙරිණි. නව ප්‍රතිපත්ති සහ බදු දිරි දීමනා සමඟ පවතින ආයෝජන හිතකර වාතාවරණය පිළිබඳව විධායක අධ්‍යක්ෂවරයා පැහැදිලි කළේය. නිෂ්පාදන, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, ආගන්තුක සත්කාර හා සංචාරක කටයුතු, කෘෂිකර්මාන්තය සහ ආහාර සැකසීම, ඉදිකිරීම් සහ යටිතල පහසුකම් යන ඍජු විදේශ ආයෝජන මෙහෙයවීම සඳහා ප්‍රමුඛතා අංශ පහක් පිළිබඳව ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය. ඖෂධ හා රෙදිපිළි භාණ්ඩ සඳහා හම්බන්තොට සහ මඩකලපුවේ අලුතින් නිර්මාණය කරන ලද විශේෂිත ආර්ථික කලාප පිළිබඳව ද ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂවරයා විස්තර කළේය.

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය අංශයේ පවතින අවස්ථා පිළිබඳව පැහැදිලි කළේය. රජයේ රෝහල්වල වෛද්‍ය සැපයුම් සඳහා වන හදිසි අවශ්‍යතා පිළිබඳව කරුණු පැහැදිලි කළ සභාපතිවරයා, මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා ලෙස ඔස්ට්‍රියානු වෛද්‍ය සැපයුම් නිෂ්පාදකයින්ගෙන් ඉල්ලා සිටියේය. ඔස්ට්‍රියාවේ වෛද්‍ය සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා සහාය වීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කැමති බව වෛද්‍ය ගුණසේන මහතා පැවසීය.

මෙඩ්-එල් ඉලෙක්ට්‍රෝමෙඩිසිනිෂේ සමාගම, ශ්‍රවණාධාර තැන්පත් කිරීමේ ක්‍ෂේත්‍රය සඳහා තාක්‍ෂණික සහයෝගය ලබා දීම සඳහා කැමැත්ත ප්‍රකාශ කළේය. ග්ලෝබල් හයිඩ්‍රෝ එනර්ජි සමාගම ද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති තුළින් ජල ශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සඳහා කැමැත්ත පළ කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

වියානා

2021 සැප්තැම්බර් 08 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close