විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයන්ගේ සංසදය-2022 වැඩසටහනේ ප්‍රධාන දේශනය පවත්වයි

විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ලංකා වාණිජ මණ්ඩලයේ සාමාජිකයන්ගේ සංසදය-2022 වැඩසටහනේ ප්‍රධාන දේශනය පවත්වයි

ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී සංවිධානය කරන ලද ‘සාමාජිකයන්ගේ සංසදය-2022’  වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, එහි ප්‍රධාන දේශනය පැවැත්වූවා ය.

විදේශ කටයුතු අමාත්‍යංශය සහ විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල ක්‍රියාත්මක කරන සුවිශේෂී කාර්යයන් පිළිබඳව පැහැදිලි කළ ලේකම් විජේවර්ධන මහත්මිය, මෙරටට ඉහළ මට්ටමේ ආර්ථික අවස්ථා සෙවීම සඳහා අපගේ බාහිර සබඳතා නැවත නිවැරදි දිශානතියට ගෙන ඒම කෙරෙහි අමාත්‍යංශයේ දැඩි අවධානය යොමුව ඇති බව අවධාරණය කළා ය. ආරක්ෂිත, නීත්‍යානුකූල සහ ඉහළ නිපුණතා සහිත ශ්‍රමික සංක්‍රමණය දිරිමත් කිරීම, අභ්‍යන්තර සංචාරක ව්‍යාපාරය, සෘජු විදේශ ආයෝජන මෙන්ම වෙළෙඳ ව්‍යාප්තිය ඉහළ නැංවීම ආදි මාර්ග ඔස්සේ මෙරටට ආදායම ගෙන ඒම, අමාත්‍යංශයේ සහ දූත මණ්ඩලවල මෙම ප්‍රයත්නය මඟින් අපේක්ෂා කෙරේ. ආර්ථිකය පුළුල් කිරීම තුළින් හිමිවන සහයෝගීතාව සියලුම රජයන්ට ජයග්‍රාහී තත්ත්වයක් උදා කරන බැවින්, පෞද්ගලික අංශය සහ අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගය දක්වන රාමුවක් තුළ රැඳෙමින් එක්ව කටයුතු කළ යුතු ය.

 ‘සාමාජිකයින්ගේ සංසදය-2022’ යනු ලංකා වාණිජ මණ්ඩලය, ආසන්න වශයෙන් 20ක් පමණ වන සිය ව්‍යාපාරික කවුන්සිල සමඟින් සංවිධානය කරනු ලබන වාර්ෂික උත්සවයකි. ලංකා වාණිජ මණ්ඩලයේ ව්‍යාපාරික කවුන්සිල විශාල සංඛ්‍යාවක්, තානාපතිවරුන් සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන්, EDB, BOI, CSE, සහ රේඛීය අමාත්‍යංශ ඇතුළු රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ පුද්ගලික අංශයේ සමූහ ව්‍යාපාර ගණනාවක ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2022 නොවැම්බර් 23 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close