ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2021 ආසියාව සඳහා බොආඕ සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක පූර්ණ සැසිවාරය අතථ්‍ය ලෙස අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2021 ආසියාව සඳහා බොආඕ සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක පූර්ණ සැසිවාරය අතථ්‍ය ලෙස අමතයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා 2021 අප්‍රේල් 20 වැනි දින චීනයේ හයිනාන් පළාතේ බොආඕ හි පැවති ආසියාව සඳහා බොආඕ සංසදයේ වාර්ෂික සම්මේලනයේ සමාරම්භක පූර්ණ සැසිවාරය අතථ්‍ය ලෙස ඇමතීය. “වෙනස්වන ලෝකයක්: ගෝලීය පාලනය ශක්තිමත් කිරීම සහ තීරය සහ මාර්ගය සහයෝගීතාව ඉදිරියට ගෙන යාම සඳහා අත්වැල් බැඳගන්න” යන්න මෙම වසරේ සංසදයෙහි මාතෘකාව වූ අතර, එහි දී බොආඕ සංසදය පිහිටුවීම පිළිබඳ 20 වැනි සංවත්සරය ද සමරනු ලැබීය.

වසර 20 ක් සාර්ථකව නිම කිරීම පිළිබඳව බොආඕ සංසදයට සුබ පැතුම් එක් කරමින්, ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකාවේ යහපැවැත්මට අත්‍යවශ්‍ය ක්ෂේත්‍ර සඳහා චීනය විසින් ආධාර සැපයීම පිළිබඳව අගය කළේය. ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය යළි අවධාරණය කළේය. “ජාතික ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර හවුල් ප්‍රතිපත්ති, සම්මතයන් සහ නීති අතර සාධාරණ සමබරතාවයක් පවත්වා ගැනීම අත්‍යවශ්‍යය. මෙම සමබරතාවය පවත්වාගෙන යාමේ දී ස්වාධීන රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය කිසිසේත් අඩපණ නොකළ යුතුය.” යයි ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේය.

අඩු ආදායම්ලාභී පවුල් දිළිඳුකමින් මුදවා ගැනීම, ග්‍රාමීය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, අනාගත අවශ්‍යතා සපුරාලීම සඳහා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ සමස්ත ජාතියේම කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා තාක්‍ෂණික භාවිතය ඉහළ නැංවීම යන රජයේ ප්‍රතිපත්තියට පහසුකම් සැලසීම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ ආධාර ශ්‍රී ලංකාව සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපතිවරයා සංසදය හමුවේ පැවසීය. රජයේ අනෙක් අභිප්‍රාය වන, ණය ලබා ගැනීම වෙනුවට ආයෝජන දිරිගැන්වීම පිළිබඳව එතුමා අවධාරණය කළේය. ශ්‍රී ලංකාව ආයෝජන සඳහා වඩාත් සුදුසු ගමනාන්තයක් ලෙස සැලකීම සහ තම රටවලින් තවත් ව්‍යාපාර දිරිමත් කිරීම සඳහා එතුමා බොආඕ සංසදයේ සාමාජික රටවල සහාය පැතීය.

චීන ජනාධිපති ෂී ජින් පිං මැතිතුමා මෙම සමුළුවේ ප්‍රධාන දේශනය වීඩියෝ සබැඳියක් හරහා පැවැත්වීය. වීඩියෝ සබැඳි හරහා මෙම සංසදය ඇමතූ අනෙක් රාජ්‍ය නායකයින් අතර, බෲනායි දරුස්සලාම් හි සුල්තාන්වරයා, චිලී, ඉන්දුනීසියාව, කසකස්තානය, ලාඕසය, දකුණු කොරියාව, සිංගප්පූරුව, වියට්නාමය යන රටවල ජනාධිපතිවරු සහ බංග්ලාදේශය, කාම්බෝජය, මෝල්ටාව, මොන්ගෝලියාව සහ නවසීලන්තය යන රටවල අග්‍රාමාත්‍යවරු ද වූහ.

බොආඕ සංසදයේ නොබැඳි සැසිවාරය සඳහා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා ද පුද්ගලිකව සහභාගී විය. 2021 අපේ‍්‍රල් 19 වැනි දින පැවති “දූපත් සහයෝගීතාව සහ පාලනය” යන මාතෘකාව පිළිබඳ මණ්ඩල සාමාජිකවරුන් සතර දෙනාගෙන් එක් අයෙකු ලෙස එතුමා සිය අදහස් බෙදා හදා ගත්තේය. දූපත් සඳහා සාගරවල ඇති වැදගත්කම සැලකිල්ලට ගනිමින්, හරිතාගාර වායු (GHG) විමෝචනය, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සහ මුහුදු මට්ටම ඉහළ යාම වැළැක්වීම සඳහා වන පැරිස් ගිවිසුම සම්බන්ධයෙන් එතුමා එහි දී රාජ්‍යයන් දිරිමත් කළේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
බීජිං

2021 අප්‍රේල් 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close