කුවේටයේ සිට සංක්‍රමණික සේවකයින් 6000 කට වැඩි පිරිසක් යළි සිය මව් රටට

කුවේටයේ සිට සංක්‍රමණික සේවකයින් 6000 කට වැඩි පිරිසක් යළි සිය මව් රටට

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ මඟ පෙන්වීම යටතේ කොවිඩ්-19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් සහ අනෙකුත් ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අඛණ්ඩව කටයුතු කරමින් සිටී. මේ අනුව තානාපති කාර්යාලයේ ලියාපදිංචි වූ පුද්ගලයින් 9000 ක් අතුරින් ශ්‍රී ලාංකිකයන් 6000 කට අධික පිරිසක් මේ වන විටත්  තානාපති කාර්යාලය විසින් ආපසු සිය මව් රටට ගෙන්වා දීමට කටයුතු කර ඇත.

මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය සඳහා තානාපති කාර්යාලය, විදේශ අමාත්‍යාංශය, කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය, කම්කරු අමාත්‍යාංශය, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE), ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ අදාළ කුවේට් බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව කටයුතු කරයි. ආපසු පැමිණි අය අතරට කුවේට් රජයේ පිටුවහල් කිරීමේ මධ්‍යස්ථානයේ, කුවේට්හි රජයේ නිවස්නයේ සහ තානාපති කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලබන ආරක්ෂිත නිවස්නයේ රඳවා සිටි ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයින් ඇතුළත් වේ.

තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමා සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මැතිතුමාගේ සහාය ඇතිව කුවේට් රජයේ පිටුවහල් කිරීමේ මධ්‍යස්ථානයෙන් ආපසු පැමිණෙන අය සහ තානාපති කාර්යාලයේ ආරක්ෂිත මන්දිරයේ නවාතැන් ගෙන සිටි සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා නොමිලයේ රජයේ නිරෝධායන පහසුකම් සලසා දී තිබේ.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාගේ හා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර පියංකර ජයරත්න මැතිතුමාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මැද පෙරදිග කලාපයෙන් ආපසු පැමිණෙන සංක්‍රමණික ශ්‍රමිකයන් සහ 2021 අප්‍රේල් 12 වැනි දින කුවේටයෙන් පිටත්ව ගිය 150 දෙනෙකුට නොමිලයේ හෝටල් නිරෝධායන පහසුකම් සපයන ලදී.

කුවේට් සිට ශ්‍රී ලංකාව දක්වා ක්‍රියාත්මක වන කලාපයේ ගුවන් සමාගම් කිහිපයක් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව, අදාළ ගුවන් සමාගම් විසින් ඉදිරිපත් කරන ලද මගී ලැයිස්තුව සඳහා විදේශ අමාත්‍යාංශයෙන් අනුමැතිය ලබා ගැනීමට තානාපති කාර්යාලය විසින් පහසුකම් සලසනු ඇතැයි යන අවබෝධය ඇතිව, මෙම තානාපති කාර්යාලයට සංක්‍රමණික කම්කරුවන් සඳහා වන නැවත මෙරටට ගෙන්වා ගැනීමේ පැකේජය කුවේට් ඩිනාර් 250 ක් දක්වා ගෙන ඒමට හැකි වූ අතර, කුවේටයේ පී.සී.ආර්. පරීක්ෂණ 01 ක්, ගුවන් ගමන් ගාස්තු සහ කොළඹ දී පී.සී.ආර්. පරීක්ෂණ 02 ක් සහ දින හතක් සඳහා නිරෝධායන ගාස්තු ඊට ඇතුළත් වේ. මීට පෙර, විදේශ අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ කුවේට් හි පුණ්‍යායතනවල මූල්‍යාධාර මත තානාපති කාර්යාලය විසින් කුවේටයේ අසරණව සිටි ශ්‍රී ලාංකිකයින් අතර වියළි සලාක පැකට් 5400 ක් බෙදා හරින ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
කුවේට්

2021 අප්‍රේල් 27 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close