ජනතාව කේද්‍රකර ගත් දැනුම මඟින් මෙහෙයවන ආරම්භයකට ශ්‍රී ලංකාව යොමුව සිටිනවා

ජනතාව කේද්‍රකර ගත් දැනුම මඟින් මෙහෙයවන ආරම්භයකට ශ්‍රී ලංකාව යොමුව සිටිනවා

ශ්‍රී ලංකාව ජනතාව කේන්ද්‍ර කරගත්, දැනුම මඟින් මෙහෙයවනු ලබන නව ආරම්භයකට යොමුව ඇති බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි. එස්තෝනියානු විදේශ අමාත්‍ය උර්මාස් රයින්සාලු මහතා ගේ ආරාධනාවකට අනුව ගෝලීය ව්‍යාපාරික සමුළුවට අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ඉකුත් 16 දා පැවැති මෙම සමුළුවේ දී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ඊ-පාලනය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකාවේ මුලපිරීම් පිළිබඳව ද ඉස්මතු කළේය.

21 වැනි සියවස නිර්වචනය කර ඇත්තේ දැනුම හා නව්‍යකරණයෙන් බවත් විදේශ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා මෙහිදී අවධාරණය කළේය. බහුවිධ ස්ථරවල ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති, ශ්‍රී ලංකාවේ ඩිජිටල් රාජ්‍ය පාලන ව්‍යුහය පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා දුන් විදේශ අමාත්‍යවරයා, එවැනි සේවාවන් ඵලදායී, විනිවිදභාවයෙන් යුතු මෙන්ම, දූෂණවලින් ද නිදහස් බවට සහතික කළේය. 2021 වසරේ මැද භාගය වන විට පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් පාලන තන්ත්‍රයක කේන්ද්‍රස්ථානය වන ජීව දත්ත සහ ජෛවමිතික දත්ත ඇතුළත් සුවිශේෂී ඩිජිටල් හැඳුනුම්පත සංවර්ධනය කිරීම පිළිබඳ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතින බව එතුමා සඳහන් කළේය. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන, ආගමන හා විගමන, පුද්ගලයින් සහ සමාගම් ලියාපදිංචි කිරීම, මෝටර් රථ ප්‍රවාහනය, ආදායම් බදු සහ පළාත් පාලන අංශ, මෙම ඊ-පාලනයෙන් ආවරණය වන සේවාවන් වනු ඇත. ඊ-පාලනය, ඊ-වාණිජ්‍යය සහ ඊ-වෛද්‍ය විද්‍යාව වැනි ඩිජිටල්කරණයන් මඟින්, පශ්චාත් කොවිඩ්-19 ගෝලීය භූ දර්ශනයේ ‘නව සාමාන්‍යය’ නිර්වචනය කරනු ඇති බව එතුමා අවධාරණය කළේය.

දකුණු ආසියාවේ බුඩාපෙස්ට් සයිබර් අපරාධ සම්මුතිය සඳහා රාජ්‍ය පාර්ශ්වයක් බවට පත්වූ පළමු රට ශ්‍රී ලංකාව බව අවධාරණය කළ අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා, සයිබර් ප්‍රහාර, තොරතුරු බාගත කිරීමේ වංචා සහ එවැනි ද්වේෂ සහගත ක්‍රියාකාරකම් ඉහළ යාමට මෙම සංක්‍රාන්තිය හේතු වී ඇති බැවින්, ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථානය (CERT) ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ සාකච්ඡා කර නිවසේ සිට වැඩ කිරීම සඳහා අනිවාර්ය සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ (WFH) නිකුත් කර ඇති බව පැවසීය. ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂාව පිළිබඳ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සිය සයිබර් ආරක්ෂණ පරිසර පද්ධතිය අන්තර්ජාතික සහයෝගීතාවයෙන් යුතුව අඛණ්ඩව අධීක්ෂණය හා ශක්තිමත් කිරීම සිදු කළ අතර, විදේශීය රජයන් සහ නියෝජිතායතන සමඟ හවුල් වී ධාරිතාවය වර්ධනය කර ගැනීමටත්, රාජ්‍ය හා පෞද්ගලික අංශවල දක්ෂ සයිබර් ආරක්ෂණ ශ්‍රම බලකායක් ඇති කිරීමටත් කටයුතු කර ඇත.

2020 ගෝලීය ව්‍යාපාර සමුළුව, කොවිඩ්-19 වසංගතය මඟින් ඇති කරන සංකීර්ණ ගෝලීය අභියෝගයන්ට විසඳුම් සෙවීම සඳහා රජයන් සහ ව්‍යාපාර එක් කළේය. සම-සත්කාරක එස්තෝනියාවේ විදේශ අමාත්‍ය උර්මාස් රයින්සාලු මැතිතුමා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ අමාත්‍ය ෂෙයික් අබ්දුල්ලා බින් සෙයිද් අල් නහියන් මැතිතුමා, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් මැතිතුමා, ගෝලීය වෙනසක් සඳහා වූ ටෝනි බ්ලෙයාර් ආයතනයේ විධායක සභාපති සහ එක්සත් රාජධානියේ හිටපු අග්‍රමාත්‍ය ගරු ටෝනි බ්ලෙයාර් මැතිතුමා ඇතුළු පිරිසක් විසින් මෙහි ප්‍රධාන දේශන පවත්වන ලදී.

ජපානය, ස්පාඤ්ඤය, කසකස්තානය, බෙල්ජියම, හංගේරියාව, සිංගප්පූරුව, පෝලන්තය ඇතුළු රටවල් හතළිහක ඉහළ පෙළේ සම්භාවනීය පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් යුතුව අන්තර්ජාලය ඔස්සේ පැවති මෙම සමුළුව, ලොව පුරා 30,000 ක් පමණ දෙනා විසින් නරඹා ඇත.

Video Link : https://m.youtube.com/watch?v=wMEMsx9Dfik

 

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2020 දෙසැම්බර් 20 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close