කොළඹ වරාය නගරය සතු ආයෝජන අවස්ථා ලන්ඩනයේ දී ඉදිරිපත් කෙරේ

කොළඹ වරාය නගරය සතු ආයෝජන අවස්ථා ලන්ඩනයේ දී ඉදිරිපත් කෙරේ

ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය CHEC පොර්ට් සිටි කළම්බු (පුද්) සමාගම සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය ව්‍යවසාය සහ ආයෝජන කවුන්සිලය සමඟ එක්ව 2022 අප්‍රේල් 26 වැනි දින මහ කොමසාරිස් කාර්යාල පරිශ්‍රයේ දී එක්සත් රාජධානියේ ආයෝජකයන් වෙත කොළඹ වරාය නගර  ව්‍යාපෘතිය සතු අධ්‍යාපන සහ මූල්‍ය ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවත්නා ආයෝජන අවස්ථා පිළිබඳ ඉදිරිපත් කිරීමක් සංවිධානය කළේ ය.

පිළිගැනීමේ දේශනය පැවැත්වූ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මැතිනිය, බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමයට අනුගත ව්‍යුහයක් සහ රාමුවක් සතු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය, දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා උත්ප්‍රේරකයක් වශයෙන් ක්‍රියා කොට ඇති බව අවධාරණය කළා ය. ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනය සන්නාමකරණය කිරීම සඳහා හවුල් වන ලෙස එතුමිය බ්‍රිතාන්‍ය සමාගම්වලට ආරාධනා කළා ය.

මෙහිදී අදහස් දැක්වූ පොදුරාජ්‍ය මණ්ඩලයීය ව්‍යවසාය සහ ආයෝජන කවුන්සිලයේ (CWEIC) නියෝජ්‍ය සභාපති ශ්‍රීමත් හියුගෝ ස්වයර් මහතා, ශ්‍රී ලංකාව සමඟ එක්ව ආයෝජනය කරන ලෙස බ්‍රිතාන්‍ය සමාගම්වලින් ඉල්ලා සිටියේ ය. තවද, ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කරමින් ආයෝජන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට හිමිවිය යුතු පිළිගැනීම ලබා දීම සඳහා ශ්‍රී ලංකාවට සහය වීමට CWEIC ආයතනය  අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේ ය.

මෙම අවස්ථාව සඳහා කොළඹ සිට අතථ්‍ය අයුරින් සහභාගී වූ CHEC පෝර්ට් සිටි කළම්බු හි සහයක කළමනාකාර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ මහතා, ආසියාවේ නවීනතම පහසුකම් ඇතුළත් කොට  ජල තීරයකින් යුක්තව සැලසුම් කළ එකම නගරය වන පොර්ට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කළේ ය. තවද, මෙම වරාය නගරය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ප්‍රගතිය සහ එමඟින් පිරිනමන ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ශක්‍යතා සහිත ආයෝජකයන් යාවත්කාලීන කළේ ය.

මෙහිදී අදහස් දැක්වූ ගේට්වේ සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය හර්ෂ අලස් මහතා, දකුණු ආසියානු කලාපයට සහ ඉන් ඔබ්බට සේවා සැපයීම සඳහා බ්‍රිතාන්‍ය ක්‍රමයට සහ ආචාර ධර්මවලට අනුකූල වන ජාත්‍යන්තර පාසලක් මෙම වරාය නගරය තුළ පිහිටුවීම සඳහා බ්‍රිතාන්‍ය පාසලක් සමඟ හවුල් වීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේ ය.

මෙම වැඩසටහනේ අවසාන අංගය අයිඩියල් සමූහයේ නියෝජ්‍ය සභාපති අරවින්ද ද සිල්වා, OXYGY සමූහයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන උපදේශක ජෝන් ෂෝ, ආචාර්ය හර්ෂ අලස් සහ තුල්සි අලුවිහාරේ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සහ CHEC පොර්ට් සිටි කළම්බු හි කලාපීය අධ්‍යක්ෂ- විකිණුම් හා අළෙවි (එක්සත් රාජධානිය) රාධික ඇල්ලේපොළ මහතා මෙහෙයවූ ප්‍රශ්නෝත්තර සැසියකින් සමන්විත විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

ලන්ඩන්

2022 මැයි 05 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close