කතානායකවරයා නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමාගේ සිතුවමක් නිරාවරණය කරයි

කතානායකවරයා නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමාගේ සිතුවමක් නිරාවරණය කරයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා 28 දින, නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී, ඉන්දියාව තුළ ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු නියෝජිතයා වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමාගේ සිතුවමක් නිරාවරණය කළේය. නූතන ඉන්දු - ලංකා සබඳතා ස්ථාපිත කොට වසර 80 ක් සපිරීමේ සංවත්සරයට සමගාමීව මෙය සිදු කෙරිණි.

ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමා වර්ෂ 1942 දී, ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු නියෝජිතයා වශයෙන් ඉන්දියාව වෙත යැවීම නිමිත්තෙන්  සනිටුහන් වන ශ්‍රී ලංකාවේ (එවකට ‘සිලෝන්’ ලෙස හැඳින්විණි) 80 වැනි සංවත්සරය මෙම වර්ෂයේ දී සැමරේ. මෙම වර්ෂයේ පැවැත්වෙන ඉහත සඳහන් කළ සුවිශේෂී සංවත්සරය නිමිත්තෙන්, නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ක්‍රියාකාරකම් මාලාවේ එක් අංගයක් ලෙස, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමාගේ මෙම සිතුවම චාන්සරි පරිශ්‍රයේ දී මෙලෙස නිරාවරණය කෙරිණි.මින් පෙර, එනම් පෙබරවාරි මාසයේ දී මහ කොමසාරිස් කාර්යාලය සිය චාන්සරි පරිශ්‍රය ශ්‍රීමත් ඩී. බී. ජයතිලක යනුවෙන් නම් කළේ ය.

මෙම සිතුවම නිරාවරණය කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ චාම් උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී.රත්නායක මැතිතුමා, රෝහිණී කුමාරි විජේරත්න මැතිනිය සහ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා යනාදීහු සහභාගී වූහ. කතානායකවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකාව නියෝජනය කළ පාර්ලිමේන්තු දූත පිරිස ජාත්‍යන්තර සම්මන්ත්‍රණයකට සහභාගී වී ආපසු ශ්‍රී ලංකාවට එන අතරවාරයේදී, සිය ගුවන් ගමන අතරතුර  දිල්ලි නුවර මෙලෙස රැඳී  සිටියහ.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මැතිතුමා ඇතුළු මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය දමෙම අවස්ථාවට සහභාගී විය.

රාජ්‍ය පාලකයකු, බෞද්ධ අධ්‍යාපනඥයකු, බැරිස්ටර්වරයකු, යුගයේ පුරෝගාමී සාහිත්‍යධරයකු සහ වරෙක ශ්‍රී ලංකාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් ද සේවය කළ ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මැතිතුමා, කල්කටා සහ ඔක්ස්ෆර්ඩ්යන විශ්වවිද්‍යාලවලින් උපාධි ලබා ඇත.ඉන්දීය රජය එකල මෙරටට නැව්ගත කළ ආහාර තොග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රීමත්බාරොන් මැතිතුමා ප්‍රථමයෙන් ඉන්දියාවට පැමිණි අතර, ඉන් පසුව නවදිල්ලිය තුළ ලංකා රජය නියෝජනය කරන පළමු නියෝජිතයා ලෙසසිය පත්වීම ලැබී ය.

1948 වර්ෂයේ දී නිදහස් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමට පෙරාතුව, ඉන්දියාවේ ලංකා නියෝජිතයා ලෙස ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මැතිතුමා ලද පත්වීම, දෙරට අතර අනාදිමත් කලක සිට පැවත එන ඉතා සුවිශේෂී බැඳීම සහ සමීප සබඳතාව විදහා දක්වන ප්‍රබල සාක්ෂියකි.

 ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2022 සැප්තැම්බර් 01 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close