ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාවේ 104 දරන පනත් කෙටුම්පතට ශ්‍රී ලංකාව විරෝධය පළ කරයි

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාවේ 104 දරන පනත් කෙටුම්පතට ශ්‍රී ලංකාව විරෝධය පළ කරයි

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අද (මැයි 10 දින) කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මැතිතුමා විදේශ අමාත්‍යාංශයේ දී හමුවිය. මෙහි දී, 2021 මැයි 06 වන දින ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් අංක 104 දරන ‘දෙමළ ජන සංහාර අධ්‍යාපන සතිය’ පිළිබඳ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත  සම්මත කිරීම පිළිබඳව රජයේ දැඩි කනස්සල්ල අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලදී. ශ්‍රී ලංකාවේ ජන සංහාරයක් සිදුවී ඇති බවට කැනඩාව විසින් සොයා ගැනීමක් කර නොමැති බව තහවුරු කර ඇති කැනඩා රජයේ නිල ස්ථාවරයට පටහැනිව, ශ්‍රී ලංකාවේ ‘ජන සංහාරයක්’ සිදුව ඇති බවක් ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායක සභාව විසින් සොයා ගෙන ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කළේය. ඔන්ටාරියෝ හි ගරු උප ආණ්ඩුකාරවරිය විසින් එම පනත් කෙටුම්පත සඳහා ලබා දුන් රාජකීය අනුමැතිය අත්හිටුවීම සඳහා කැනේඩියානු රජය වහාම මැදිහත් වන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

මෙම රැස්වීමට එක්වෙමින් විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා, මෙම 104 දරන පනත් කෙටුම්පත හේතුවෙන් ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට, සාමය ගොඩනැගීමට හා පොදුවේ ද්විපාර්ශ්වික සබඳතාවලට ඇති විය හැකි හානිය පිළිබඳව විස්තර කළේය.

විවිධ අංශවලින් ශ්‍රී ලංකාවට ලබා දුන් අඛණ්ඩ සහයෝගය වෙනුවෙන් කැනේඩියානු රජයට ස්තූතිය පළ කළ විදේශ අමාත්‍යවරයා, මහ කොමසාරිස්වරයා සමඟ පුළුල් පරාසයක ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව සාකච්ඡා කළේය.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 මැයි 10 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close