මහ බැංකුවේ අධිපතිවරයා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සමඟ කටාර් රාජ්‍යයේ සංචාරයක නිරත වෙයි

 මහ බැංකුවේ අධිපතිවරයා ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් සමඟ කටාර් රාජ්‍යයේ සංචාරයක නිරත වෙයි

මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසක් සමඟ 2021 ඔක්තෝබර් 20-22 යන දිනවල කටාර් රාජ්‍යයේ සංචාරයක නිරත විය.

කටාර් මහ බැංකුවේ අධිපති ෂෙයික් අබ්දුල්ලා බින් සෞද් අල්-තානි මහතා හමු වූ නියෝජිත පිරිස, ශ්‍රී ලංකා මහ බැංකුව සහ කටාර් රාජ්‍යයේ මහ බැංකුව (QCB) අතර පවත්නා සහයෝගීතාව සහ පශ්චාද් කොවිඩ් වසංගත තත්ත්වය තුළ පිළිපදින ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළහ. ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර පවත්නා ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහා පවතින ක්‍රම සහ විධි පිළිබඳව ද ඔවුහු සමාලෝචනය කළහ.

කටාර් මහ බැංකුව සමඟ පැවැත්වූ හමුවට අමතරව මහ බැංකුවේ අධිපතිතුමා ඇතුළු නියෝජිත පිරිස කටාර් ජාතික බැංකුවේ, දෝහා බැංකුවේ සහ කටාර් රාජ්‍යයේ කොමර්ෂල් බැංකුවේ ප්‍රධානීන් ද හමුවූ අතර, එහිදී ශ්‍රී ලංකාව තුළ ද්විපාර්ශ්වික වෙළඳාම සහ ව්‍යාපාරික අවස්ථා සංවර්ධනය කිරීම පිළිබඳ ඵලදායී සාකච්ඡාවල නිරත වූහ.

මහ බැංකු අධිපතිතුමා ඇතුළු නියෝජිත පිරිස කටාර් හි ලුලු (LULU)  සමූහයේ අධ්‍යක්ෂ ආචාර්ය මොහොමඩ් අල්තාෆ් මුස්ලියාම් වීටිල් මහතා සමඟ ද ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූහ. ලූලු සමූහය හා ශ්‍රී ලංකාව අතර පවත්නා දිගු කාලීන වෙළඳ සබඳතා ඉහළ නැංවීම මෙම හමුවේ අරමුණ විය.

මහ බැංකු අධිපතිතුමාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිත පිරිස “කටාර්-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික අවස්ථා” යන තේමාව යටතේ දෝහා බැංකුවේ සත්කාරකත්වයෙන් පවත්වන ලද ආයෝජන සංසදයට ද සහභාගී වූහ. මෙම හමුවේ දී ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය යන දෙරටෙහි බහුවිධ ආර්ථික අංශ තුළ පවත්නා නව ආයෝජන අවස්ථා පිළිබඳව අවධානය යොමු කෙරිණි.

දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙම සංචාරයට සහභාගී වූ මහ බැංකු අධිපතිවරයා ඇතුළු  දූත පිරිස සඳහා  දෝහා හිදී සියලු පහසුකම් සලසන ලදී.

මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිසට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර මහතා, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරී ආචාර්ය එම්.ඉසෙඩ්.එම්. අසිම් මහතා, ආර්ථික පර්යේෂණ හා සංවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය සී. අමරසේකර මහතා සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ/සන්ධාන නුවන් ගමගේ මහතා යනාදීහු ඇතුළත් වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

දෝහා

2021 ඔක්තෝබර් 27 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close