ඇෆ්ඝනිස්ථානයේ ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙලා දකී

ඇෆ්ඝනිස්ථානයේ ප්‍රහාරය ශ්‍රී ලංකාව හෙලා දකී

අහිංසක සාමාන්‍ය ජනතාව ඉලක්ක කොට ගෙන ත්‍රස්තවාදීන් විසින් එල්ල කරනු ලබන ප්‍රහාර මෙන්ම, ඇෆ්ඝනිස්ථානයේ සිදුවන අනෙකුත් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ශ්‍රී ලංකාව හෙළා දකින බව ඇෆ්ඝනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ ඇෆ්ඝනිස්ථානයේ තොරතුරු හා සංස්කෘතික අමාත්‍යාංශයේ වැඩබලන තොරතුරු හා සංස්කෘතික අමාත්‍ය තහීර් සුහයිර් මහතා පසුගිය මැයි 09 වැනි දින හමුවූ අවස්ථාවේදී ය. තානාපතිවරයා මෙහි දී, ඇෆ්ඝනිස්ථානයේ පාසල් ළමුන් ඉලක්ක කරගෙන ඉකුත් මැයි මස 08 වන දින එල්ල වූ අමානුෂික ත්‍රස්ත ප්‍රහාරයට ගොදුරු වූවන්ගේ පවුල්වලට සහ ආදරණීයයන් වෙත සිය බලවත් කණගාටුව හා ශෝකය ද පළ කළේය.

පුරාණ ඉන්දියානු දේශයේ බෞද්ධ දර්ශනයේ බලපෑම තුළින් පුද්ගලාන්තර සබඳතා හරහා ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසේ පමණ ඈත අතීතයේ දී ඇරඹි ඇෆ්ඝනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර ඓතිහාසික බැඳීම් පිළිබඳව තානාපතිවරයා ඉස්මතු කළේය. පසුකාලීන සියවස්වල දී සිදු වූ ආගමික හා වෙළඳ කටයුතු මඟින් දෙරට අතර සංස්කෘතික උරුමයන් තවදුරටත් ශක්තිමත් විය. සංස්කෘතිය, සංගීතය, කලාව, සිනමාව සහ කෞතුකාගාර පිළිබඳ දැනුම් හුවමාරු කර ගැනීම, විශේෂඥයින් සහ මුද්‍රිත ලිපි ලේඛන හුවමාරු කර ගැනීම සහ වරින් වර ඇෆ්ඝනිස්ථානයේ බෞද්ධ උරුම ස්ථාන පිළිබඳව ශ්‍රී ලංකාවේ දී ප්‍රදර්ශන පැවැත්වීම මගින් සංස්කෘතික කටයුතු පෝෂ්‍ය කිරීමට තානාපතිවරයා යෝජනා කළේය.

වැඩබලන අමාත්‍ය සුහයිර් මැතිතුමා, ඇෆ්ඝනිස්ථාන පුරවැසියන් පිළිබඳව ශ්‍රී ලංකා තානාපතිවරයා පළකළ හැඟීම් පිළිගන්නා අතරම, එතුමාගේ යෝජනාව සඳහා ලෙස එකඟ විය. ඇෆ්ඝනිස්ථානය මඟින් ඉදිරිපත් කරනු ලබන බෞද්ධ උරුමයන් සහ ඇෆ්ඝනිස්ථානයේ විවිධ ස්ථානවල පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳව ගරු අමාත්‍යවරයා තානාපතිවරයාව දැනුවත් කළේය. ඇෆ්ඝනිස්ථානයේ පිහිටි මෙම උරුමස්ථාන, සත්‍ය වශයෙන්ම සංස්කෘතික ආකර්ශනයක් වනු ඇති අතර, ඇෆ්ඝනිස්ථානයට පැමිණීම සඳහා ශ්‍රී ලාංකිකයන් පොළඹවමින් සංචාරක කටයුතු වැඩිදියුණු කරනු ඇත.

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්ථානය අතර වර්ධනය වෙමින් පවතින ද්විපාර්ශ්වික සබඳතා තිර කිරීම සඳහා අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන සංස්කෘතික කටයුතුවල නියැලීම අවශ්‍යතාවක් වන බවට සහ අනාගතයේ දී ඵලදායී ප්‍රතිඵල ළඟාකර ගැනීම පිණිස අවබෝධතා ගිවිසුමක් හරහා යෝජිත ක්‍රියාකාරකම් සිදු කළ යුතු වන බවට, වැඩ බලන අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා තානාපතිවරයා යන දෙපළම එකඟ වූහ.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
කාබුල්

2021 මැයි 12 දින

 

 

--

Print Friendly, PDF & Email
Please follow and like us:

Close