ශ්‍රී ලංකාව තුළ සැමට සමානව සැලකීම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති බව රැසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට මුස්ලිම් ජනතාවට පෙන්වා දෙයි

ශ්‍රී ලංකාව තුළ සැමට සමානව සැලකීම ව්‍යවස්ථාවෙන්ම තහවුරු කර ඇති බව රැසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට මුස්ලිම් ජනතාවට පෙන්වා දෙයි

ශ්‍රී ලංකාවේ විවිධ ආගමික විශ්වාසවලට අයත් පුරවැසියන් සාමයෙන් හා සමගියෙන් ජීවත්වන අතර, ඔවුන්ට සමාන ලෙස සැලකීම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කොට ඇතිබව රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි හා අමාත්‍ය උපදේශක මොහොමඩ් අනාස් මහතා අවධාරණය කළේය. ඉකුත් 28 වන දා තානාපති කාර්යාලයේ පැවැති  ඉෆ්තාර් උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කෙළේය. මොස්කව් හි ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයේ ප්‍රධාන ඉමාම්වරයා මෙන්ම ඉමාම්වරුන් හා ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින්ගෙන් සමන්විත මුස්ලිම් දූත පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.  ශ්‍රී ලංකාව සහ රුසියානු සමූහාණ්ඩුව අතර ඓතිහාසිකව ඇති කරගන්නා ලද මිත්‍ර සබඳතා සහ එකිනෙකට ඉතා සමීපව පිහිටා ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ මොස්කව් ආසන දෙව්මැදුර අතර සමීප සබඳතා පිළිබඳවද අනාස් මහතා මෙහිදී සිහිපත් කළේය.

මොස්කව් හි මුස්ලිම්වරුන්ගේ අධ්‍යාත්මික පරිපාලනයේ මුලසුන හොබවන ඉල්ඩාර්-හස්රත් අලියාට්ඩිනොව් ප්‍රධාන ඉමාම්වරයා, විවිධ ජාතීන් නියෝජනය කරන මුස්ලිම් ප්‍රජාවට ඉෆ්තාර් රාජ්‍යතාන්ත්‍රික බලකාය සමඟ බෙදා ගැනීම සඳහා කරන ලද ආරාධනය වෙනුවෙන් ස්තූතිය පුද කළේය. ඉස්ලාමීය අසල්වැසියන් රැකබලා ගැනීමේ වැදගත්කම පිළිබඳව සහ අද ශ්‍රී ලාංකික මිතුරන් සමඟ ඊට සාක්ෂි දැරූ බව සිය කතාවේ දී සඳහන් කළ ඉමාම්වරයා, සිය දේවස්ථානයට පැමිණෙන ලෙස තානාපතිවරයාට සහ තානාපති කාර්යාල කාර්යය මණ්ඩලයට ආරාධනා කළේය.

ආධ්‍යාත්මික පදනම මත පිහිටා අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම සහ සමාජ ක්ෂේත්‍රය, අධ්‍යාපනය, පුණ්‍ය කටයුතු, ව්‍යාපාර සහ තවත් බොහෝ දේ ඇතුළුව සහයෝගීතාව සඳහා අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර පුළුල් කිරීම සඳහා සිය සූදානම දෙපාර්ශ්වයම ප්‍රකාශ කළහ. ‍

ඉෆ්තාර් සහ යාච්ඤාවෙන් අනතුරුව නිල උත්සවය පැවැත්විණ. ශ්‍රී ලාංකික ආහාරපාන රස විඳීමට සහ සූපශාස්ත්‍ර ප්‍රදර්ශනයක් නැරඹීමට ද අමුත්තන්ට ආරාධනා කරන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
මොස්කව්

2021 මැයි මස 12 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close