ශ්‍රී ලංකාව සහ නවසීලන්තය විදේශ අමාත්‍යාංශ උපදේශන අරඹයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය විදේශ අමාත්‍යාංශ උපදේශන අරඹයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු වටයේ විදේශ අමාත්‍යාංශ උපදේශන 2021 අප්‍රේල් 08 වැනි දින අන්තර්ජාලය හරහා පැවැත්විණි. විදේශ අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියානු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් රෝහන අඹගොල්ල මහතා සහ නවසීලන්ත විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍යාංශයේ දකුණු හා අග්නිදිග ආසියා අංශයේ ආංශික කළමනාකරු ඇන්ඩෲ නීඩ්ස් මහතා මෙම රැස්වීමේ සම සභාපතිත්වය දැරූහ.

අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රාශියක් පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි. වෙළඳ, සංවර්ධන සහයෝගීතාව, ආරක්‍ෂාව, අන්තර් රාජ්‍ය පුද්ගල හුවමාරු, අධ්‍යාපනය සිට ක්‍රීඩාව සහ සංචාරක ව්‍යාපාරය දක්වා වන ක්ෂේත්‍ර ගණනාවක සහයෝගීතාව වැඩි දියුණු කිරීම මෙයට ඇතුළත් විය. වෙළඳ හා ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම සහ කටයුතු කරන සෑම අංශයකම ද්විපාර්ශ්වික හුවමාරු ඉහළ නැංවීම පිණිස ඵලදායී යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සඳහා ද්විපාර්ශ්වික වැඩපිළිවෙලක් සකස් කිරීමට ද දෙරට එකඟ විය. ජාත්‍යන්තර වේදිකාවල දී පොදුවේ උනන්දුවක් දක්වන ගැටළු සම්බන්ධයෙන් හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ද සාකච්ඡා කෙරිණි.

මේ වසර අග භාගයේ දී කොළඹ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීම දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ඉස්මතු කරමින් ශ්‍රී ලංකාව පිළිගත් අතර, එමඟින් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අන්තර්ක්‍රියා සැලකිය යුතු  අන්දමින් පුළුල් කෙරෙනු ඇත.

විදේශ අමාත්‍යාංශයේ සහ වාණිජ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම, නවසීලන්තය සඳහා සමගාමීව අක්ත ගන්වා ඇති කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ද මෙම අන්තර්ජාල රැස්වීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වූ අතර, නවසීලන්තයේ විදේශ කටයුතු හා වෙළඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ශ්‍රී ලංකාව සඳහා  නවසීලන්තයේ වැඩබලන මහ කොමසාරිස්වරයා නවසීලන්තය නියෝජනය කළහ.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා 1955 දී ආරම්භ කරන ලද අතර, විදේශ අමාත්‍යාංශ උපදේශන ආරම්භ කිරීම මඟින් දෙරට අතර පවත්නා ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය සමාලෝචනය කිරීම හා පුළුල් කිරීම සඳහා පරිපූර්ණ වේදිකාවක් සපයයි.

 

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 අප්‍රේල් 09 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close