ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය සහ ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අත්සන් තබයි

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය සහ ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් පිහිටුවීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අත්සන් තබයි

අද (අප්‍රේල් 07) දින ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සහ ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අත්සන් තැබීය.

මෙම දකුණු ආසියානු රටවල් දෙක අතර නිරන්තර සම්බන්ධතාවය හා හවුල්කාරිත්වය සඳහා වන අවබෝධතා ගිවිසුමට විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ ඇෆ්ගනිස්ථාන රජය නියෝජනය කරමින් කොළඹ ඇෆ්ගනිස්ථාන තානාපති අෂ්රෆ් හයිදාරි මහතා අත්සන් තැබූහ.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ, විදේශ අමාත්‍යාංශ දෙකෙහිම සක්‍රීය පහසුකම් සැපයීම තුළින්, ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය වනු ඇතැයි ද, එමඟින් ද්විපාර්ශ්වික සබඳතාවල සමස්ත පරාසය පිළිබඳ වාර්ෂික සමාලෝචනයක් සිදු කිරීමට හැකි වනු ඇතැයි ද දෙරටේ විශ්වාසය පළ විය.

මෙය දේශපාලන, ආර්ථික කටයුතු, ආරක්ෂාව, සංස්කෘතිය, සෞඛ්‍යය, සාමාජීය, පුද්ගලාන්තර සබඳතා සහ කලාපීය සහයෝගීතාව ඇතුළු පොදු අවශ්‍යතා පිළිබඳ අනෙකුත් ක්ෂේත්‍ර ආවරණය කරයි.

මෙම අවබෝධතා ගිවිසුමට එළඹීමත් සමඟ, දකුණු ආසියාවේ සියලුම රටවල් සමඟ දේශපාලන උපදේශන හෝ විදේශ කාර්යාල උපදේශන පිළිබඳ ද්විපාර්ශ්වික නෛතික ලේඛන ස්ථාපනය කිරීම ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කරනු ලැබේ. අත්සන් තබන ලද මෙම අවබෝධතා ගිවිසුම, දෙරට අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වසර 63 ක ඉතිහාසයේ වැදගත් ද්විපාර්ශ්වික නෛතික ලේඛනයකි.

ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට සහ නුදුරු අනාගතයේ අන්‍යෝන්‍ය වශයෙන් පහසු අවස්ථාවක දී සමාරම්භක දේශපාලන උපදේශන සැසිය පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වූහ. ආර්ථික හා වෙළඳ කටයුතුවල දී සමීප සහයෝගීතාව මෙන්ම, අසල්වැසි හා සාර්ක් සාමාජික රටවල් සමඟ සම්බන්ධතාවය පවත්වා ගැනීම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍යතාන්ත්‍රික ඉලක්කය වේ.

තේ, මැණික් හා ස්වර්ණාභරණ, වියළි පලතුරු, ඇට වර්ග සහ ධාන්‍ය වර්ග ඇතුළු ද්විපාර්ශ්වික වෙළඳාම සඳහා ඉහළ අවස්ථාවක් පවතින ක්ෂේත්‍ර පිළිබඳව දෙපාර්ශ්වයම අවධාරණය කළ අතර, සෘජු ගුවන් සම්බන්ධතාවය මගින් දෙරටටම සංචාරක, සංස්කෘතික හා සාමාජීය කටයුතුවල දී සමීප සහයෝගීතාවයක් ඇති කර ගත හැකි බව ඉස්මතු කරන ලදී.

කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ කොළඹ ඇෆ්ගනිස්ථාන තානාපති කාර්යාලයේ සහ විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

විදේශ අමාත්‍යාංශය
කොළඹ

2021 අප්‍රේල් 07 වැනි දින

...................................

ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සහ ඇෆ්ගනිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමෙන් අනතුරුව විදේශ අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් කරන ලද මාධ්‍ය ප්‍රකාශය
ආයුබෝවන්!

ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති අෂ්රෆ් හයිදාරි මැතිතුමනි,
කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මැතිතුමනි,
විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතාණෙනි,
සම්භාවනීය නෝනාවරුනි, මහත්වරුනි,

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට එළඹීම මඟින් අපි ප්‍රධාන ද්විපාර්ශ්වික නෛතික ලේඛනයකට අත්සන් තබා ඇත්තෙමු.

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන ද්විපාර්ශ්වික සබඳතා වාර්ෂිකව පූර්ණ වශයෙන් සමාලෝචනය කරන ලෙස එමඟින් අපගේ රටවල විදේශ අමාත්‍යාංශ දෙකෙන්ම ඉල්ලා සිටින බැවින්, මෙම ද්විපාර්ශ්වික නෛතික ලේඛනය ශක්තිමත් ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන ද්විපාර්ශ්වික හවුල්කාරිත්වයක් සඳහා ශක්තිමත් පදනමක් සපයයි. මෙමඟින්, දේශපාලන, ආර්ථික, ආරක්ෂාව, සංස්කෘතිය, සෞඛ්‍යය, සාමාජීය, පුද්ගලාන්තර සබඳතා සහ කලාපීය සහයෝගීතාව ඇතුළු අපගේ පොදු අවශ්‍යතා සඳහා වන ක්ෂේත්‍ර ආවරණය කරයි.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මඟින්, දකුණු ආසියාවේ සියලුම රටවල් සමඟ විදේශ අමාත්‍යාංශ අතර දේශපාලන උපදේශන හෝ විදේශ කාර්යාල උපදේශන පිළිබඳ ද්විපාර්ශ්වික නෛතික ලේඛනවලට අත්සන් තැබීම ශ්‍රී ලංකාව සම්පූර්ණ කරයි. මෙතෙක් අප සතුව විධිමත් ද්විපාර්ශ්වික නෛතික ලේඛනයක් නොතිබූ එකම සාර්ක් රට වූයේ ඇෆ්ගනිස්ථානයයි.

අප දෙරට විසින් වසර 63 ක විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන ගොස් තිබේ. මෙම ස්ථිර උපදේශන යාන්ත්‍රණය තුළින් අපගේ ද්විපාර්ශ්වික සබඳතාවය අද නව අවධියක් කරා එළඹ ඇත.

සාමයට ලැදි, මිත්‍රශීලී රටක් ලෙස සිය මධ්‍යස්ථ නොබැඳි පිළිවෙත සහ තිරසාර සංවර්ධනය, සාමය හා ආරක්ෂාව සඳහා වන කැපවීම පිළිබඳ දීර්ඝ කාලීන මූලධර්ම ආරක්ෂා කරමින්, දකුණු ආසියානු කලාපය සමඟ සම්බන්ධ වීමේ අපේක්ෂාවන් ඉටු කර ගැනීම සඳහා එමඟින් ශ්‍රී ලංකාවට අවස්ථාවක් සලසා දෙනු ඇත.

තානාපතිතුමනි,
සම්භාවනීය නෝනාවරුනි, මහත්වරුනි,

ශ්‍රී ලංකාව සැමවිටම ඇෆ්ගනිස්ථානය අපේ අසල්වැසි සදාකාලික මිතුරෙකු ලෙස සලකයි. සියවස් ගණනක් පැරණි අප දෙරට අතර සබඳතා, අපගේ පොදු ශිෂ්ටාචාරික උරුමය සහ අද්විතීය දකුණු ආසියානු අනන්‍යතාවයෙන් බැඳී තිබේ.

පෙර දිනක මට තානාපති හයිදාරි මැතිතුමා හමු වූ අවස්ථාවේ දී එතුමා ස්වාභාවික හා මිනිසා විසින් සිදුකරන ලද විපත්වලින් අනතුරුව ද, ඇෆ්ගනිස්ථානයේ තවමත් සංරක්‍ෂණය කරනු ලැබ ඇති පොහොසත් බෞද්ධ උරුමය පිළිබඳව මට විස්තර කළේය. අප දෙරටම බොහෝ වේදිකාවල දී සිය පොදු ලක්ෂණ බෙදා හදා ගන්නා අතර, දර්ශන වාද කිහිපයක් මඟින් අපගේ සංස්කෘති පෝෂණය කොට ඇත.

තානාපතිතුමනි,
සම්භාවනීය නෝනාවරුනි, මහත්වරුනි,

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ තුළ, ඇෆ්ගනිස්ථානය සමඟ බහුවිධ සමීප සබඳතා වැදගත් ප්‍රමුඛතාවක් දරයි. කලාපයේ අසල්වැසියන් ලෙස, ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන සඳහා තවමත් භාවිතයට නොගත් බොහෝ අවස්ථා පවතින අතර, අපගේ ව්‍යාපාරික ප්‍රජාවන් දෙක අතර ක්‍රියාකාරී සම්බන්ධතාවයක් දැකීමට අපි කැමැත්තෙමු.

තේ, කුළුබඩු, තාක්ෂණික භාණ්ඩ ඇෆ්ගනිස්ථානයට අපනයනය කිරීමට සහ ඔවුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු වල දී සේවා සම්බන්ධ විශේෂඥ දැනුම ලබා දීමට අපි අපේක්ෂා කරමු. ඊට ප්‍රතිචාර වශයෙන් සිය නිෂ්පාදන ශ්‍රී ලංකාවට අපනයනය කිරීම සඳහා ඇෆ්ගනිස්ථාන ව්‍යාපාරික ප්‍රජාවට අවස්ථාවක් සැලසෙනු ඇත.

වර්තමානයේ දී ශ්‍රී ලාංකික විදේශගත විශේෂඥයින් සැලකිය යුතු සංඛ්‍යාවක් ඇෆ්ගනිස්ථාන නියෝජිතායතන වෙත සිය සේවාවන් සපයයි. අපේ ජාතිකයින් සඳහා සුදුසු ආරක්ෂාව සහ සුභසාධනය ලබා දීම ගැන මම ඇෆ්ඝනිස්ථාන රජයට ස්තූතිවන්ත විය යුතුයි. දිගු කාලීන වශයෙන් මිනිස්බල ක්‍ෂේත්‍රයේ විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳව අප සලකා බැලිය යුතුය. ශ්‍රී ලාංකික වෘත්තිකයින්ට අමතරව, විද්වතුන් ද ඇෆ්ගනිස්ථානයේ සේවය කර ඇති අතර, දැනට ද අඛණ්ඩව සේවය ලබා දෙමින් සිටිති.

අපගේ ආර්ථික, වෙළඳ හා සම්බන්ධකතා හැකියාවන් හකුළා දැමූ කොවිඩ්-19 වසංගතයේ ව්‍යාප්තිය මගින් ඉදිරිපත් කරන ලද අභියෝග පිළිබඳ වර්තමාන සන්දර්භය තුළ, අපගේ කටයුතු අලුත් කිරීමට සහ නැවත අවධානය යොමු කිරීමට කාලය පැමිණ තිබේ.
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර සෘජු ගුවන් සේවා පිළිබඳ ගිවිසුමට එළඹීමට සූදානම්ව පවතින බව ප්‍රකාශ කිරීමට ලැබීම සතුටට කරුණක් වන අතර, රාජ්‍යතාන්ත්‍රික හා නිල විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා බලපත්‍ර නිදහස් කිරීම පිළිබඳ සාකච්ඡා ක්‍රියාවලිය ද අවසන් වීමට ආසන්නව පවතී.

තානාපතිතුමනි,

කලාපීය සාමය, ස්ථාවරත්වය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාව සැමවිටම කැපවී සිටී. ඇෆ්ගනිස්ථානයේ වර්තමාන සාම ක්‍රියාවලිය සාර්ථක කර වීමට අපි මුළු හදින්ම ප්‍රාර්ථනා කරන අතර, එමඟින් තිරසාර සංවර්ධනයේ ප්‍රතිලාභ නෙළා ගැනීමට මඟ සලසනු ඇති බව මට නිසැකය. ත‍්‍රස්තවාදය සහ සිවිල් වැසියන්ට එරෙහි ඕනෑම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවක් අපි එක හා සමානවම හෙළා දකිමු.

කලාපීය පෙරමුණ තුළ දී, විශේෂයෙන් සාර්ක් සංවිධානයෙහි ඇෆ්ගනිස්ථානය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන අතර, කලාපීය කටයුතු ශක්තිමත් කිරීම සඳහා ඇෆ්ගනිස්ථානය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ද අපේක්ෂා කරයි.

අපගේ ද්විපාර්ශ්වික සබඳතාවය වැඩිදියුණු කිරීම සඳහා වූ දැඩි කැපවීම පිළිබඳව ශ්‍රී ලංකාවේ ඇෆ්ගනිස්ථාන තානාපති අෂ්රෆ් හයිදාරි මැතිතුමාට ස්තූති කිරීම සඳහා මම මෙය අවස්ථාවක් කර ගනිමි.

ආයුබෝවන්.

ස්තුතියි.

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close