තානාපතිනිය බ්‍රේමනයේ නිදහස් හා හන්සියාටික් නගරයේ සංචාරයක නිරත වේ

තානාපතිනිය බ්‍රේමනයේ නිදහස් හා හන්සියාටික් නගරයේ සංචාරයක නිරත වේ

මිත්‍ර සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති මනෝරි උණම්බුව මැතිනිය, 2021 සැප්තැම්බර් 23-24 දක්වා බ්‍රේමනයේ නිදහස් හා හන්සියාටික් නගරයේ සංචාරයක නිරත වූවා ය. පුළුල් මෙන්ම විවිධාංගීකරණයට ලක්වූ ආර්ථිකයක් භුක්තිවිඳින ෆෙඩරල් රාජ්‍යයක් වන බ්‍රේමනියේ ප්‍රධාන කර්මාන්ත සමුද්‍රීය, සැපයුම්, සුළං බලශක්තිය, මෝටර් රථ නිෂ්පාදනය, අභ්‍යවකාශ යානා හා උපකරණ තැනීමේ තාක්ෂණය සහ ආහාර පාන යන අංශ වටා කේන්ද්‍ර වී ඇත.

සංචාරය අතරතුර දී, බ්‍රේමනයේ නිදහස් හන්සියාටික් නගරයේ සෙනට් සභාවේ සභාපති- ගෞරවනීය නගරාධිපති ආචාර්ය අන්ද්‍රේයස් බෝවන්ෂුල්ට් මැතිතුමා හමුවූ තානාපති මනෝරි උණම්බුව මැතිනිය, විශේෂයෙන්ම බ්‍රේමනයේ සමුද්‍රීය කර්මාන්තය හිමි කරගෙන ඇති සාධනීය පසුබිම මධ්‍යයේ ශ්‍රී ලංකාව සහ බ්‍රේමනය අතර සබදතා වැඩි දියුණු කර ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කළා ය. තවද, ඓතිහාසික බ්‍රේමන නගර ශාලාවේ ස්ථාපනය කොට ඇති ස්වර්ණ පුස්තකයේ අත්සන් තැබීමේ සුවිශේෂී අවස්ථාව ද එම මැතිනියට හිමි විය.

බ්‍රේමන පාර්ලිමේන්තුවේ සභාපති ‍ෆ්‍රෑන්ක් ඉම්හොෆ් මැතිතුමා සමඟ පැවැති හමුව ඉතා සුවිශේෂී මොහොතක් වූ අතර,  එහිදී සමීප වෙළඳ සහයෝගීතාවයෙන් කටයුතු කරන බවටත්, විශේෂයෙන් වෙළෙඳ හා නාවික යන අංශවල සහයෝගීතාව තීව්‍ර කිරීමේ අවස්ථා ගවේෂණය කිරීමටත් දෙපාර්ශවයම පොරොන්දු වූහ.

තානාපතිනිය බ්‍රේමන වාණිජ මණ්ඩලයේ උප සභාපති එඩුවර්ඩ් ඩුබර්ස්-ඇල්බ්‍රෙෂ්ට් සහ එහි ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ කළමනාකාර අධ්‍යක්ෂ  වෝක්මාර් හර් මහතා ද හමු වූවා ය. හමුව අතරතුර දී එම මැතිනිය  ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික වර්ධනය සහ කොළඹ වරාය නගරයේ හා නිදහස් වෙළඳ කලාපවල නව ආයෝජන අවස්ථා කෙරෙහි වැඩි අවධානයක් යොමු කළා ය. තවද, වාරිමාර්ග, ඉංජිනේරු, ආහාර, පුනර්ජනනීය බල ශක්තිය සහ සමුද්‍රීය යන අංශ නියෝජනය කළ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික පිරිසක් ද හමු වූවා ය. බ්‍රේමනයේ සමාගම් කිහිපයක් දැනටමත් වසර ගණනාවක් මුළුල්ලේ ශ්‍රී ලංකාව සමඟ ව්‍යාපාර කටයුතුවල නිරතව සිටින බව සිහිපත් කළ තානාපති උණම්බුව මැතිනිය, ශ්‍රී ලංකාව ඔවුන්ගේ ඉදිරි ආයෝජන සඳහා ගමනාන්තයක් වශයෙන් සලකන ලෙස කළ ආරාධනාව නැවත වරක් අලුත් කළා ය.

4000ක් පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් සඳහා නිවහන වූ බ්‍රේමනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ හරස්කඩක් ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් තෝමස් ක්‍රිවට් මහතාගේ නිල නිවසේ දී හමුවීමේ අවස්ථාව ද තානාපතිනියට හිමි විය. තානාපතිනිය ඔවුන්ට ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙල සඳහා අඛණ්ඩ සහය ලබා දෙන ලෙස ආරාධනා කළා ය. තවද, ශ්‍රී ලාංකික ප්‍රජාව අතර සමීප සබඳතා ගොඩනඟා ගැනීම සඳහා බ්‍රේමනයේ සංගමයක් පිහිටුවීම ආරම්භ කෙරිණි.

බ්‍රේමනයේ සහ පහළ සැක්සනියේ උතුරු ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල් තෝමස් ක්‍රිවට් මහතා මෙම සංචාරය සංවිධානය කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බර්ලින්

2021 ඔක්තෝම්බර් 04 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close