චයිනා ඉන්ටනැෂනල් ඉම්පෝර්ට් එක්ස්පෝ ප්‍රදර්ශනයේ  ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා චීන ජනමාධ්‍ය හමුවෙයි

චයිනා ඉන්ටනැෂනල් ඉම්පෝර්ට් එක්ස්පෝ ප්‍රදර්ශනයේ  ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා චීන ජනමාධ්‍ය හමුවෙයි

 තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, ‘4 වැනි චයිනා ඉන්ටනැෂනල් ඉම්පෝර්ට් එක්ස්පෝ (CIIE) 2021’ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය පිළිබඳ විස්තර කිරීම සඳහා 2021 සැප්තැම්බර් 30 වැනි දින තම නිල නිවසේ දී චීන ජනමාධ්‍ය  හමු විය. ආහාර පාන සහ මැණික් හා ස්වර්ණාභරණ යන අංශ දෙක යටතේ ශ්‍රී ලංකාව මෙම ප්‍රදර්ශනයට සහභාගී වීමට නියමිත ය.

4 වැනි CIIE ප්‍රදර්ශනයේ දී ශ්‍රී ලංකාව සම්ප්‍රදායක අපනයනවලට අමතරව රසකැවිලි වැනි නව නිෂ්පාදන කිහිපයක් චීන වෙළඳපොළට හඳුන්වා දෙන බව තානාපති ආචාර්ය කොහොන මැතිතුමා තම දේශනයේ දී විස්තර කළේ ය. ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින වෙළඳ අසමතුලිතතාවය අවම කිරීම සඳහා CIIE ප්‍රදර්ශනය ඵලදායී වේදිකාවක් සපයනු ඇතැයි ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසී ය. වර්තමානය වන විට චීනය ලොව විශාලතම පාරිභෝගික වෙළඳපොළ බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාවේ නිල් ආරුනූල් මැණික් පොකුර ප්‍රදර්ශනයේ මැණික් හා ස්වර්ණාභරණ අංශයේ ප්‍රධාන ප්‍රදර්ශන භාණ්ඩයක් වනු ඇතැයි තානාපතිවරයා අවධාරණය කළේ ය.

4 වැනි CIIE ප්‍රදර්ශනයෙහි ශ්‍රී ලංකා සහභාගීත්වය සඳහා උපරිම ප්‍රචාරණයක් ලබා දෙන ලෙස තානාපතිවරයා චීන ජනමාධ්‍යට ඇරයුම් කළේ ය. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ප්‍රදර්ශනය තුළදී සජීවීව විකාශනය කෙරේ. සජීවී විකාශනය අද වන විට චීනයේ වඩාත් ඵලදායී අලෙවිකරණ මෙවලම බවට පත්ව ඇත.

නිල උත්සවය ආරම්භ කිරීමට පෙර, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය, ලංකා තේ සහ ආයෝජන අවස්ථා පිළිබඳ විඩියෝ පට තිරගත කෙරිණි.

මෙම සාකච්ඡාවට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවේදීහු 25 කට අධික සංඛ්‍යාවක් පැමිණ සිටියහ. චීනයේ ප්‍රමුඛ සංචාරක කණ්ඩායම් පහ අතර දැවැන්ත සංචාරක කණ්ඩායමක් වූ කයිසා සංචාරක කණ්ඩායම ද මෙහි දී නියෝජනය කෙරිණි. සංචරණ සීමා ඉවත් කළ වහාම මිලියනයක චීන සංචාරක පිරිසක් ශ්‍රී ලංකාවට එවීමට උපරිම උත්සාහ ගන්නා බව කයිසා සංචාරක කණ්ඩායම තානාපතිවරයාට අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2021 ඔක්තෝම්බර් මස 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close