ඇමරිකා එක්සත් ජනපද ප්‍රධාන සහකාර ලේකම් තානාපතිනි වෙල්ස් මැතිනිය විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

ඇමරිකා එක්සත් ජනපද ප්‍රධාන සහකාර ලේකම් තානාපතිනි වෙල්ස් මැතිනිය විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වයි

                                               IMG_0039                                                

එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ පවත්වාගෙන යන සංවර්ධන හවුල්කාරිත්වය පිළිබඳව මෙන්ම රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ගරු කිරීම හා අගය කිරීම පිළිබඳව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ශ්‍රී ලංකාවේ ප්‍රශංසාව පිරිනැමීය. එක්සත් ජනපද ප්‍රධාන සහකාර රාජ්‍ය ලේකම් තානාපතිනි ඇලිස් වෙල්ස් මැතිනිය සමඟ අද දින (ජනවාරි 14) පෙරවරුවේ කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දී එතුමා මෙම අදහස් පළ කළේය.

තානාපතිනි වෙල්ස් මැතිනිය පොදු ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම පිළිබඳව සඳහන් කරමින්, පසුගිය ජනාධිපතිවරණය සාර්ථකව නිමා කිරීම තුළින් ශ්‍රී ලංකාව පෙන්නුම් කරන ලද අඛණ්ඩ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයන් පිළිබඳව පැසසුමට ලක් කළාය. මෙම කලාපයේ එක්සත් ජනපද උපායමාර්ගික දැක්ම පැහැදිලි කරමින්, තානාපතිනි වෙල්ස් මැතිනිය ශ්‍රී ලංකාව සමඟ ශක්තිමත් සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීම සඳහා වූ එක්සත් ජනපදයේ අභිලාෂය ප්‍රකාශ කළ අතර, ද්විපාර්ශ්වික කටයුතු සඳහා එක්සත් ජනපදය ලබාදෙන වැදගත්කම අවධාරණය කළාය. ආර්ථික හා ව්‍යාපාරික කටයුතු, අධ්‍යාපනය, ආරක්‍ෂාව, සමුද්‍රීය කටයුතු සහ අන්තර් හමුදාමය සබඳතා සහ ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිළිබඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ කටයුතු මෙන්ම එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් උපායමාර්ගය යටතේ සිදුකෙරෙන කටයුතු ද මෙම සාකච්ඡාවල දී සලකා බලන ලදී.

එක්සත් ජනපදයේ ආධාර පිළිබඳව සහයෝගිතාව වෙනුවෙන් කෘතඥතාව පළ කරමින් අමාත්‍ය ගුණවර්ධන මැතිතුමා ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා වැඩි වෙළඳපොළ ප්‍රවේශයක් ලබාදීමේ සහ ශ්‍රී ලංකාව තුළ ආයෝජන ඉහළ නැංවීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. දෙරටේ ව්‍යාපාර එකිනෙක හා සම්බන්ධ කිරීම, ආරක්ෂක හා සමුද්‍රීය ක්ෂේත්‍රයන්හි නියැලීම තීව්‍ර කිරීම, සංචාරක කටයුතු වැඩිදියුණු කිරීම සහ තාක්‍ෂණය හා නවෝත්පාදන සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කිරීම ඇතුළුව සහයෝගීතාවයේ සෑම අංශයක්ම පිළිබඳ එක්සත් ජනපද - ශ්‍රී ලංකා සබඳතාවය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ඇති කැපවීම එතුමා ප්‍රකාශ කළේය. එක්සත් ජනපදයේ සිට ශ්‍රී ලංකාව වෙත සෘජු විදේශ ආයෝජන ඉහළ නැංවීම සඳහා දෙපාර්ශ්වයම එක්ව කටයුතු කරන බවට මෙහි දී එකඟ විය. ශ්‍රී ලංකාවේ ප්‍රවණතාවයන් සහ ප්‍රතිසන්ධානය හා සංවර්ධනය යන ක්ෂේත්‍රයන්හි අලුත් මුහුණුවරකින් යුතු ප්‍රයත්න පිළිබඳව ද එක්සත් ජනපද දූත පිරිස දැනුවත් කරන ලදී. රජය විසින් ස්ථාපිත කර ඇති ස්ථායීතාවයත් සමඟ, රට තුළ මෙන්ම ඉන් පිටත දී ද ආර්ථික, ව්‍යාපාරික හා දේශපාලන ක්ෂේත්‍රයන්හි විශ්වාසය ගොඩනැගෙමින් පවතින බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලය තුළ දී, තානාපතිනි වෙල්ස් මැතිනිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද බැහැදැක තිබේ.

ජනාධිපතිවරයාගේ නියෝජ්‍ය සහකාර සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂිකා ලීසා කර්ටිස් මහත්මිය ද එක්සත් ජනපද ප්‍රධාන සහකාර ලේකම් තානාපතිනි වෙල්ස් මැතිනිය සමඟ එක්වූ අතර, විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු අමාත්‍යවරයා සමඟ මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020 ජනවාරි 14 වැනි දින

IMG_0045 IMG_0075

Print Friendly, PDF & Email
Please follow and like us:

Close