ශ්‍රී ලංකාවට ස්ථිරසාර සහය ලබා දෙන බවට චීනය ප්‍රතිඥා දෙයි

ශ්‍රී ලංකාවට ස්ථිරසාර සහය ලබා දෙන බවට චීනය ප්‍රතිඥා දෙයි

IMG_0139

චීන විදේශ අමාත්‍ය හා රාජ්‍ය මන්ත්‍රණ සභික වෑන්ග් යී මැතිතුමා 2020 ජනවාරි 14 වැනි දින විදේශ අමාත්‍යාංශයේ දී විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා හමුවිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නව රජය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කරන බවත් ඊට සහය ලබා දෙන බවත් චීනය අවධාරණය කරන ලදි.

අමාත්‍ය වෑන්ග් යී මැතිතුමා පිළිගනිමින්, ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට චීනය නිරන්තරයෙන් ලබා දෙන දායකත්වය මෙන් ම මානව හිමිකම් කවුන්සිලය ඇතුළු කලාපීය හා ජාත්‍යන්තර සංසද රැසක දී ඔවුන් ලබා දෙන සහය වෙනුවෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා චීනයට ස්තූතිය පළ කළේය. වැදගත් යටිතල පහසුකම් සංවර්ධනය, සෘජු විදේශ ආයෝජන හා ආරක්ෂක, අධ්‍යාපන, සංචාරක ක්ෂේත්‍රවල සහයෝගීතාව දිරිගැන්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිදු කරන කටයුතුවල දී චීනය ඒවාට සම්බන්ධ වී කටයුතු කිරීමේ වැදගත්කම ද අමාත්‍ය ගුණවර්ධන මහතා මෙහි දී හුවා දැක්වීය.

2013 වසරේ දී දෙරට විසින් ආරම්භ කරන ලද උපාය මාර්ගික සහයෝගීතා හවුල්කාරීත්වයේ කාර්ය රාමුව යටතේ අත්කර ගත් ජයග්‍රහණ පිළිබඳව සළකා බලමින්, ශ්‍රී ලංකාවේ නව පරිපාලනය යටතේ උදා වී ඇති යෝග්‍ය වාතාවරණයෙන් වාසි ලබා ගැනීම සඳහා දෙරටම ප්‍රයත්න දැරිය යුතු බවට චීනය බලාපොරොත්තු පළ කරන ලදි.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමා ඉක්මනින් ම චීනයේ සංචාරය කරනු ඇතැයි ඔවුන්ගේ අපේක්ෂාව වන බව අමාත්‍ය වෑන්ග් යී මැතිතුමා ප්‍රකාශ කළේය. අපේක්ෂිත රාජ්‍ය සංචාරය මඟින් ඉදිරි සහයෝගීතාව මෙහෙයවීමට ප්‍රායෝගික උපාය මාර්ග සොයාගැනීමට හැකි වනු ඇතැයි ද ශ්‍රී ලංකාවේ යහපත උදෙසා වෙළෙඳාම, ආයෝජන හා සංචාරක කටයුතු දිරිගන්වන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයේ දැක්ම තවදුරටත් වැඩිදියුණු වනු ඇතැයි ද අමාත්‍ය දෙපළ බලපොරොත්තු පළ කළහ.

වෑන්ග් අමාත්‍යවරයා, ශ්‍රී ලංකා සංචාරයේදි රැඳී සිටි කාලය තුළ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ද හමු විය.

ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තානාපති වූ ජිඇන්ග්හෝ මැතිතුමා ප්‍රධාන බීජිං හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නියෝජිත කණ්ඩායමක් චීන විදේශ අමාත්‍යවරයා සමඟ මෙම සංචාරයට එක් විය. විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද මෙම සාකච්ඡා සඳහා සහභාගී වූහ.

 

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020 ජනවාරි 14 වැනි දින

IMG_0190 IMG_0199

Print Friendly, PDF & Email
Please follow and like us:

Close