විදේශ සබඳතා අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශිකාවගේ අදහස් දැක්වීම සම්බන්ධ නවතම තත්වය

විදේශ සබඳතා අමාත්‍යාංශයේ මාධ්‍ය ප‍්‍රකාශිකාවගේ අදහස් දැක්වීම සම්බන්ධ නවතම තත්වය

 
විදේශ සබඳතා අමාත්‍යාංශයේ සේවයේ නියුතු නිලධාරිනියකගේ පවුලේ සාමාජිකයෙකු කොරෝනා වෛරසය (COVID -19) ආසාධිතයකු වශයෙන් හඳුනාගැනීමෙන් අනතුරුව සහ වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම වළක්වා ගැනීම සහ අවම කිරීම සඳහා ගන්නා ලද ආරක්ෂිත පියවර මාලාව සම්බන්ධයෙන් ඊයේ දින (2020 මාර්තු 14) අමාත්‍යාංශය විසින් සිදු කළ අදහස් දැක්වීමට අමතරව, එහි නවතම තත්වය පහත පරිදි ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශය බලාපොරොත්තු වේ:

මෑතකදී ජිනීවා නුවර පැවති මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට සහභාගී වූ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුලූ දූත කණ්ඩායම ජිනීවා නුවරදී මෙම නිලධාරිනිය සමඟ කටයුතු කරනු ලැබූවේ, එම නිලධාරිනිය විසින් 2020 පෙබරවාරි 29 සිට මාර්තු 1 දක්වා කාලය තුළ යුරෝපයේ පෞද්ගලික සංචාරයක නියුතුව සිටි රෝගය ආසාධිත වූ සිය පවුලේ සාමාජිකයා තනිව හමුවීමට පෙර බව අවධාරණය කර සිටී.

මෙම නිලධාරිනිය 2020 මාර්තු 8 වන දින නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, එදින සිට විදේශ කටයුතු අමාත්‍යවරයා සහ නිලධාරිනිය අතර කිසිදු හමුවක් සිදුව නොමැත.

මාර්තු 9 වන දිනෙන් ඇරඹි පසුගිය සතිය තුළ අදාළ නිලධාරිනිය එක් දිනක් පමණක් සේවයට වාර්තා කර ඇති අතර, එයද ආසා‍ධනයට ලක්වූ ඇයගේ පවුලේ සාමාජිකයා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙරය. රෝගය ආසාධනය වූ  පවුලේ සාමාජිකයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ එම නිලධාරිනිය ශ්‍රී ලංකාවට පැමිණ දින කිහිපයකට පසුවය.

එසේ වුවද, පූර්ව ආරක්ෂිත පියවරක් වශයෙන් මෙම නිලධාරිනිය සේවයට වාර්තා කළ දින තුළ මුණගැසුණු සියලුම නිලධාරීන්ටද, නිලධාරිනිය සහ පවුලේ සාමාජිකයා වාසය කරන අමාත්‍යාංශයට අයත් නිල නිවාසයන්හි වෙසෙන සියලුම නිලධාරීන් සහ එම පවුල්වල සාමාජිකයන්ටද, නිලධාරිනිය මීට පෙර දෙසතියක් සේවයේ නිරතව සිටි ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ කාර්ය මණ්ඩලයටද, ‘ස්වයං නිරෝධායනය’ සඳහා යොමුවීමට උපදෙස් නිකුත් කර ඇත.

අමාත්‍යාංශ පරිශ්‍රයේ අදාළ ප‍්‍රදේශ සහ අමාත්‍යාංශයට අයත් නිල නිවාස විෂබීජහරණය කිරීම සඳහා අවශ්‍ය වැඩිදුර පියවර ගෙන ඇත.

අදාළ නිලධාරිනිය මේ වන විට මනා සෞඛ්‍යය තත්වයෙන් පසුවේ.

අමාත්‍යාංශය සිය කාර්ය මණ්ඩලය, අමුත්තන් සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා මෙම තත්වය නියාමනය කිරීමට සහ සුපරීක්ෂණය කිරීමට අවශ්‍ය කටයුතු අඛණ්ඩව සිදු කරනු ඇත.

විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
2020 මාර්තු 15 වන දින
Print Friendly, PDF & Email
Please follow and like us:

Close