ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ඕස්ට්‍රේලියාවේ වෙළඳපොළක් හදයි

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ඕස්ට්‍රේලියාවේ වෙළඳපොළක් හදයි

කොවිඩ්-19 වසංගතයෙන් පසු  ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සඳහා ඕස්ට්‍රේලියාවේ වෙළඳපොළ පවත්වා ගැනීමට සංචාරක ආකර්ශණ වැඩසටහනක් කැන්බරා නගරයේදී පැවැත්විණ. අන්තර්ජාලය හරහා පැවැති මෙම වැඩසටහනේ තේමාව වුයේ "ශ්‍රී ලංකාවේ වැසි වනාන්තරවල විශ්මජනක පක්ෂීන්"යන්නයි. සිංහරාජ වනයේ වෙසෙන පක්ෂීන්ගේ විවිධත්වය මතු කරමින් මෙම අන්තර්ජාල වැඩසටහන පැවැත්විණි. මෙම වැඩසටහනට කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයෙන් විශේෂිත පරිසර සංචාරක පහසුකම් සපයන සමාගමක් වන අරුන්යා වැකේෂන්ස් ලිමිටඩ් සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ සංචාරක මාර්ගෝපදේශක වෘත්තීය ජාලයක් වන සැවානා ගයිඩ්ස් ලිමිටඩ් යන ආයතනද සහභාගි විය.

කැන්බරා හි වැඩබලන මහ කොමසාරිස්වරයා සිය ආරම්භක අදහස් දැක්වීමේ දී, ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වඩාත්ම ආකර්ශනීය හා සුවිශේෂී සංචාරක ගමනාන්තයක් ලෙස ඉස්මතු කළ අතර, දේශසීමා විවෘත වූ වහාම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ඕස්ට්‍රේලියානු පරිසර සංචාරකයින්ට සහ පක්ෂි ලෝලීන්ට ආරාධනා කළේය.

මිනිත්තු 60 ක ඉදිරිපත් කිරීමකින් සහ මිනිත්තු 20 ක ප්‍රශ්නෝත්තර සැසියකින් සමන්විත මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන, පරිසරවේදියෙකු, සොබාදහම් ඡායාරූප ශිල්පියෙකු, ශ්‍රී ලංකාවේ පක්ෂි විද්‍යා ක්ෂේත්‍ර කණ්ඩායමේ හිටපු සභාපතිවරයෙකු සහ ඕස්ට්‍රේලියානු පරිසර සංචාරක සංවිධානයේ සහතික ලත් පරිසර මාර්ගෝපදේශකයකු වන රාහුල පෙරේරා මහතා විසින් ශ්‍රී ලංකාවේ සිට පවත්වන ලදී.

ඕස්ට්‍රේලියානු පරිසර සංචාරක නියෝජිතවරුන්, ඕස්ට්‍රේලියාවේ වනජීවී සංචාරක නිලධාරීන්, පක්ෂි විශේෂඥයින්, පක්ෂි විද්‍යාඥ කණ්ඩායම් සහ ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු හා වෙළඳ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙම වෙබිනාර් සාකච්ඡාව හා සම්බන්ධ විය. තවද, ඉන්දු-පැසිෆික් කලාපය නියෝජනය කරමින් නවසීලන්තය, පැපුවා නිව්ගිනියාව සහ ඉන්දුනීසියාව යන රටවල සංචාරක නියෝජිතයින් ද මෙම අවස්ථාවට එක්විය. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා නිර්වේතනික කොන්සල්වරු සහ මෙල්බර්න් සහ සිඩ්නි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාල මෙම අවස්ථාවට සහභාගී විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

කැන්බරා

2020 දෙසැම්බර් 02 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close