ඉස්ලාමීය ඉරාන ජනරජය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කරයි

ඉස්ලාමීය ඉරාන ජනරජය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කරයි

ඉස්ලාමීය ඉරාන ජනරජය, ඉරානයේ රෙඩ් ක්‍රෙසන්ට් සංවිධානය සමඟ එක්ව, 2022 නොවැම්බර් 03 වැනි දින ටෙහෙරානයේ පිහිටි රෙඩ් ක්‍රෙසන්ට් සංවිධානයේ කාර්යාලයේ පැවති උත්සවයක් අතරතුර, ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් සහ අනෙකුත් වෛද්‍ය සැපයුම් තොගයක් පරිත්‍යාග කළේ ය. මෙම ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයේ සමස්ත වටිනාකම ශ්‍රී ලංකා රුපියල් 108,123,522 කට අධික වන අතර, එය ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් 294,743 කට සමාන වේ.

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග හා වෛද්‍ය සැපයුම් 119 කින් සමන්විත මෙම පරිත්‍යාගය, ඉරාන විදේශ කටයුතු අමාත්‍යංශයේ සහ ඉරානයේ රෙඩ් ක්‍රෙසන්ට් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉදිරිපිට ඉරාන රජය විසින් ඉරානයේ ශ්‍රී ලංකා තානාපති ජී.එම්.වී. විශ්වනාත් අපොන්සු මැතිතුමා වෙත භාර දෙන ලදී. මෙම පරිත්‍යාගය භාර ගත් ශ්‍රී ලංකා තානාපතිවරයා, ඉස්ලාමීය ඉරාන ජනරජය මෙලෙස කාලෝචිත අයුරින් විදහා දැක්වූ ත්‍යාගශීලී දායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ සහ ශ්‍රී ලංකා ජනතාවගේ බලවත් කෘතඥතාව පළ කළේ ය. තවද, දුෂ්කර කාලවලදී ඉරානය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව සඳහන් කළ ශ්‍රී ලංකා තානාපතිවරයා, යහපත් සබඳතා සහ සහයෝගීතාව අඛණ්ඩව පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව ද අවධාරණය කළේ ය.

ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා තානාපති විශ්වනාත් අපොන්සු මැතිතුමා 2022 ජුනි මස නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය මොහොමඩ් හොසේන් නික්නාම් මැතිතුමා, බටහිර ආසියානු කටයුතු පිළිබඳ සහකාර විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සෙයිද් රසූල් මුසාවි මැතිතුමා, ඉරානයේ රෙඩ් ක්‍රෙසන්ට් සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය පිර් හොසෙයින් කොලිවාන්ඩ් මහතා සහ ඉස්ලාමීය ඉරාන ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවූ අවස්ථාවේ දී යොමු කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස මෙම වෛද්‍ය සැපයුම් සහ ඖෂධ තොගය පරිත්‍යාග කරන ලදී.

මෙම පරිත්‍යාගය ඉරානයේ සිට ශ්‍රී ලංකාවට එවීම සඳහා ටෙහෙරානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය Pankeh Tea පුද්. සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අලිරේසා බාර්දෙයි මහතාගේ සහය ද ඇතිව කඩිනම් විධිවිධාන සැලසී ය. තවද, එය රැගත් නෞකාව 2022 නොවැම්බර් මස මැද භාගය වන විට කොළඹ වරායට පැමිණීමට නියමිත ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ටෙහෙරානය

2022 නොවැම්බර් 04 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close