ඊ- වාණිජ්‍යය සහ ඩිජිටල් අලෙවිකරණය හරහා ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් කාන්තා ව්‍යවසායකයින් සඳහා වූ ජාතික පුහුණු වැඩසටහන ශ්‍රී ලංකාවේ සුහුරුපායේ දී UNESCAP විසින් සාර්ථකව නිම කෙරේ

ඊ- වාණිජ්‍යය සහ ඩිජිටල් අලෙවිකරණය හරහා ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් කාන්තා ව්‍යවසායකයින් සඳහා වූ ජාතික පුහුණු වැඩසටහන ශ්‍රී ලංකාවේ සුහුරුපායේ දී UNESCAP විසින් සාර්ථකව නිම කෙරේ

ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකයින්ට පහසුකම් සැලසීමේ සහ සහාය වීමේ අරමුණින් සහ ශ්‍රී ලංකාව තුළ කාන්තාවන් සිදු කරන ඊ-වාණිජ්‍යය කටයුතු සහ ඩිජිටල් අලෙවිකරණ මුලපිරීම පුළුල් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ තායිලන්තයේ UNESCAP හි ස්ථිර දූත මණ්ඩලය සහ නවදිල්ලියේ (ESCAP-SSWA) ආසියානු සහ පැසිෆික් කලාපය සඳහා වන ආර්ථික හා සමාජ කොමිසමේ (UNESCAP) දකුණු සහ නිරිතදිග ආසියානු කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය ආයතන හත සමඟ ඒකාබද්ධව සංවිධානය කරන ලද ඊ-වාණිජ්‍යය සහ ඩිජිටල් අලෙවිකරණය හරහා ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කාන්තා ව්‍යවසායකයින් සඳහා වූ ජාතික පුහුණුව, 2022 නොවැම්බර් 01-03 යන දිනවල ශ්‍රී ලංකාවේ සුහුරුපාය පරිශ්‍රයේ දී පැවැත්විණි.

UNESCAP හි "දකුණු ආසියාවේ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSME) සඳහා ඊ-වාණිජ්‍ය ධාරිතාව ගොඩනැගීම" යන ව්‍යාපෘතිය යටතේ, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, ජාතික ශිල්ප සභාව, කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවිකරණ මණ්ඩලය, කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ කෘෂි තාක්ෂණ සහ ග්‍රාමීය විද්‍යා ආයතනය යන ආයතන විසින් නම් කරන ලද කාන්තා ව්‍යවසායකයින් 85 දෙනෙකුට, දින 03 ක් මුළුල්ලේ පැවති මෙම වැඩසටහන තුළදී අත්දැකීම් ලබා දෙන ලදී. ESCAP-SSWA හි සුවීරා සක්සේනා මහත්මිය සහ දීපාලි ගොටඩ්කේ මහත්මිය, මෙම වැඩසටහනෙහි සම්පත් දායකයන් ලෙස සහභාගී වූහ.

මෙම ජාතික පුහුණු වැඩසටහනේ සමාරම්භක දේශනය ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ මැතිතුමා විසින් පවත්වන ලද අතර, පිළිගැනීමේ දේශන ESCAP-SSWA හි අධ්‍යක්ෂ සහ ප්‍රධානී මිකිකෝ ටනාකා මහත්මිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර්-හම්ඩි මහත්මිය විසින් පවත්වන ලදී.

ශ්‍රී ලංකා කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්, ජේ. එම්. තිලකා ජයසුන්දර, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) ඩිජිටල් ආර්ථිකය පිළිබඳ සහකාර ප්‍රධාන නිලධාරී, සචින්ද්‍ර සමරරත්න සහ LOLC හෝල්ඩිංග්ස් හි හිටපු සභාපති රෝහිණී නානායක්කාර යන මහත්ම මහත්මීහු “ශ්‍රී ලංකාවේ කාන්තා ව්‍යවසායකයින් සඳහා අවස්ථා නිර්මාණය කිරීම වෙනුවෙන් ප්‍රතිපත්තිමය වශයෙන් පෙනී සිටීම " යනුවෙන් පැවති සාකච්ඡා මඩුල්ලට සහභාගී වූහ.

මෙම පුහුණුව අවසානයේ දී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සුරේෂ් ද මෙල් මහතා විශේෂ දේශනයක් පැවැත්වූ අතර, ශ්‍රී ලංකා ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් එරහපොළ මහතා සහ කුළුබඩු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ සභාපති කුමුදුනී ගුණසේකර මහත්මිය විසින් සමාප්ති දේශන ඉදිරිපත් කරන ලදී.

ESCAP-SSWA අධ්‍යක්ෂ සහ ප්‍රධානී මිකිකෝ ටනාකා මහත්මිය සිය සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ මැතිතුමා, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා, විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය, තිරසාර සංවර්ධන කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් චමින්ද්‍රි සපරමාදු මහත්මිය, භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී. රත්නායක මහතා සහ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ සැලසුම්කරණය පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් චින්තක හෙට්ටිආරච්චි මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වී ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නිත්‍ය දූත මණ්ඩලය

බැංකොක්

2022 නොවැම්බර් 04 වැනි දින

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close