සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තෛපොංගල් උත්සවය සමරයි

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තෛපොංගල් උත්සවය සමරයි

සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සිංගප්පූරුවේ ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ එක්ව 2023 ජනවාරි 19 වැනි බ්‍රහස්පතින්දා දින මහ කොමසාරිස් පරිශ්‍රයේ පවත්වන ලද විචිත්‍රවත් උත්සවයක් හරහා අඛණ්ඩව තෙවැනි වරටත් තෛපොංගල් උත්සවය සැමරී ය.

දමිළ ප්‍රජාව අතර "කෝලම්" ලෙසින් ප්‍රචලිත විසිතුරු රටාවලින් භූමිය සරසා තිබූ හෙයින් මෙම උත්සවයට සාම්ප්‍රදායික සහ සංස්කෘතික පෙනුමක් එක් කෙරිණි.

සිංගප්පූරුවේ ශ්‍රී සෙන්බගා විනයගර් කෝවිලේ උප සභාපති කේ.සෙල්වක්‍රිෂ්ණන් සහ එහි සභාපති ජයසීලන් කාර්තිජේසු, සිංගප්පූරු- ලංකා ද්‍රවිඩ සංගමයේ මහ ලේකම් එස්.කෝබන් යන මහත්වරු විශේෂ ආරාධිතයන් ලෙස මෙම උත්සවයට සහභාගි වූහ. සිංගප්පූරුවේ ශ්‍රී සෙන්බගා විනයගර් කොවිලේ ප්‍රධාන පූජකවරයා වන ශ්‍රී සබේසන් කුරුක්කල් විසින් විශේෂ පූජාවක් සහ හින්දු ආගමික වතාවත් සිදු කරන ලදී.

පැමිණ සිටි පිරිස පිළිගත් මහ කොමසාරිස් ප්‍රේමවර්ධන මැතිනිය, තෛපොංගල් උත්සවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අතර එය ලොව පුරා වෙසෙන දමිළ ප්‍රජාව විසින් සමරනු ලබන වඩාත් සුවිශේෂී ආගමික හා සංස්කෘතික උත්සවය ලෙස හැඳින්වූවා ය. සූර්යයාට කෘතවේදීත්වය පළ කිරීමේ සංකේතයක් ලෙස පළමු අස්වැන්න සූර්යයාට  පිරිනැමීම මෙම උත්සවය තුළදී සිදු කෙරෙන බව එතුමිය සඳහන් කළා ය. තෛපොංගල් උත්සවය ජාතික සංස්කෘතියේ අනිවාර්ය අංගයක් බවට පත්ව ඇති බවත්, මෙවර ‘මහ’ කන්නයේ අස්වැන්න සළකා බලන විට සමස්ත ජාතියටම ඉන් ප්‍රතිලාභ අත්වන බැවින් මෙවර ‘තෛපොංගල්’ උත්සවයට ඉහළ වැදගත්කමක් හිමි වන බවද එතුමිය අවධාරණය කළා ය.

සියලු දෙනාගේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කරමින් ස්වයංපෝෂිත රටක් ගොඩනැගීමටත්, අපගේ මුතුන් මිත්තන් පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කළ ශ්‍රී ලංකාව යළි පුබුදුවාළීමටත් රජය දරන ප්‍රයත්න ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර තෛපොංගල් උත්සවය වඩාත් සුදුසු බව අවධාරණය කරන ලද  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ තෛපොංගල් පණිවුඩය මහ කොමසාරිස්වරිය විසින් උපුටා දක්වන ලදී.

සිංගප්පූරු - ශ්‍රී ලංකා සබඳතාව පොදු සංස්කෘතික වටිනාකම් සහ ශක්තිමත් පුද්ගලාන්තර සබඳතා මත පදනම් වී ඇති බව මහ කොමසාරිස්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය. කොවිඩ්- 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකා රජය ගත් ප්‍රයත්න සඳහා සිංගප්පූරු රජය ටෙමාසෙක් ජාත්‍යන්තර පදනම සහ අනෙකුත් පුණ්‍යායතන මෙන්ම සිංගප්පූරු ප්‍රජාව හරහා ලබා දුන් අගනා සහය පිළිබඳව ද එතුමිය මෙහිදී සිහිපත් කළා ය.

විශේෂ ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමට සහය වීම සඳහා සිංගප්පූරුවේ වෙසෙන දමිළ ප්‍රජාව සමඟ ද අත්වැල් බැඳ ගැනීමට මහ කොමසාරිස් කාර්යාලය බලාපොරොත්තුවෙන් පසුවන වන බව මහ කොමසාරිස් ප්‍රේමවර්ධන මැතිතුමිය වැඩිදුරටත් සඳහන් කළා ය. ශ්‍රී ලංකාවේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා මෑතක දී සිංගප්පූරුවේ නිරත වූ සංචාරය අතරතුර මේ පිළිබඳ මූලික සාකච්ඡා පවත්වන ලදී.

සිංගප්පූරුවේ සංවර්ධනය සඳහා ශ්‍රී ලාංකික දමිළ  ප්‍රජාව දක්වන පුළුල් දායකත්වය පැසසූ  මහ කොමසාරිස්වරිය, එම ප්‍රජාව මෙරට විවිධත්වය සහ ජනතාවගේ කුසලතාවන් විදහා දක්වන සාඩම්බර පිළිබිඹුවක් බව ප්‍රකාශ කළා ය. සිංගප්පූරුවේ සෙන්බගා විනයගර් කෝවිල වර්ෂ 1850 දී පමණ ඉදිකරන ලදී.  එම කෝවිලේ මූලික ව්‍යුහයන් ගොඩනැගීමේ පුරෝගාමීන් ලෙස කටයුතු කළ ලංකා දමිළ ජාතිකයන් ගෞරවයට පාත්‍ර වේ. මෙම කෝවිල නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සිංගප්පූරු ලංකා ද්‍රවිඩ සංගමය ඉටු කරන සුවිශේෂී කාර්යභාරය මහ කොමසාරිස්වරියගේ පැසසුමට ලක් විය.

ගනේෂ දෙවියන්ට සහ අනෙකුත් දෙවිවරුන්ට පොංගල් කිරිබත් පූජා කිරීමෙන් පසුව ආගමික වතාවත් අවසන් කෙරිණි.

මෙම උත්සවය අවසානයේ දී පොංගල් කිරිබත් සහ ලංකා තේ ඇතුළු සම්ප්‍රදායික රසකැවිලි සංග්‍රහ කරන ලදී.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

සිංගප්පූරුව

2023 ජනවාරි 24 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close