චීනය සිය බාහිර සංචාරක ව්‍යාපාර නියමු වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් කරයි

චීනය සිය බාහිර සංචාරක ව්‍යාපාර නියමු වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් කරයි

සිය බාහිර සංචාරක නියමු වැඩසටහනට ඇතුළත් රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කරන බව චීනයේ සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය 2023 ජනවාරි 20 වැනි දින නිවේදනය කළේ ය. මෙම වැඩසටහන  2023 පෙබරවාරි 6 වැනි දින ආරම්භ වේ.

මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇත්තේ සීමිත රටවල් සංඛ්‍යාවක් පමණි. එබැවින්, මෙම ලැයිස්තුවට ශ්‍රී  ලංකාව ද ඇතුළත් කිරීම තුළින් දෙරට අතර පවතින සමීප බැඳීම් විදහා දැක්වේ. එවැනි ලැයිස්තුවකට ඇතුළත් වීම සඳහා තානාපති කාර්යාලය නිරන්තරයෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට කටයුතු කළේ ය.

කොවිඩ්- 19 වසංගතය හේතුවෙන් දැඩි බලපෑමකට ලක් වූ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමේ අවස්ථාව මේ වන විට උදා වී ඇත. 2019 වසරේ දී චීන ජාතිකයන් මිලියන 169 ක් චීනයෙන් පිටත සංචාරයේ නිරත වූහ. මේ වන විට  චීන ජාතිකයන් සංචාරයේ නිරත වීම සඳහා දැඩි කැමැත්තකින් පසුවන අතර විශාල පිරිසක් සිය නිවාඩු ගත කිරීම සඳහා සංචාරයේ යෙදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

සීමිත සම්පත් තිබියදී පවා ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ගනු ලබන බහුවිධ උත්සාහයන් අඛණ්ඩව සිදු කරනු ලැබේ. තානාපති ආචාර්ය පාලිත කොහොන මැතිතුමා චීනයේ විවිධ පළාත් සහ නගරවල සිදු කළ සංචාරයක් ඊට ඇතුළත් වේ. ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීම සඳහා විද්‍යුත් (රූපවාහිනී) සහ මුද්‍රිත මාධ්‍ය (දෛනික ජාතික පුවත්පත් ඇතුළුව) මෙන්ම ඉමහත් ජනප්‍රියත්වයට පත් වූ සමාජ මාධ්‍ය ජාලා වන ඩොයින්, ටික්ටොක් සහ අලිබබා ආදිය ද නිරන්තරයෙන් භාවිතා කරනු ලැබේ. තවද, තානාපති කාර්යාලය ප්‍රමුඛ පෙළේ සංචාරක ක්‍රියාකරුවන් 12 දෙනෙකුට අධික සංඛ්‍යාවක් සමඟ ක්‍රියාකාරී සබඳතා පවත්වයි. ශ්‍රී ලංකාවේ ලෝක ප්‍රකට බෞද්ධාගමික සිද්ධස්ථාන, වනජීවී ගහණය, තේ වතුවලින් වැසී ගිය කඳු පංති, වටිනා මැණික්, පිරිසිදු වෙරළ තීරය සහ ආගන්තුක සත්කාර යනාදිය ඇතුළුව ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංචාරක ආකර්ෂණ ස්ථාන විදහා දැක්වෙන වෘත්තාන්ත චිත්‍රපටයක් රූගත කිරීම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා මේ වන විට දියුණු මට්ටමක පවතී.

තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරී කේ.කේ.යෝගනාදන් මහතා චීන රජයේ නිවේදනය පිළිගත්තේ ය. විශේෂයෙන්ම ශීත ඍතුවේ දී ශ්‍රී ලංකාව සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය නිවර්තන ගමනාන්තයක් වන බැවින්, සංචාරය සඳහා ශ්‍රී ලංකාව  තෝරා ගන්නා ලෙස එතුමා චීන සංචාරකයන් දිරිමත් කළේ ය.

යළි පිබිදෙන සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළ නැංවීමට ඉවහල් වන උත්තේජනයක් බව ප්‍රකාශ කළ තානාපති ආචාර්ය කොහොන මැතිතුමා, මෙම නියමු වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් කිරීම පිළිබඳව චීන රජයට සිය ප්‍රසාදය පළ කළේ ය.

තායිලන්තය, ඉන්දුනීසියාව, කාම්බෝජය, මාලදිවයින, ශ්‍රී ලංකාව, පිලිපීනය, මැලේසියාව, සිංගප්පූරුව, ලාඕසය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව, කෙන්යාව, දකුණු අප්‍රිකාව, රුසියාව, ස්විට්සර්ලන්තය, හංගේරියාව, නවසීලන්තය, ෆීජි, කියුබාව සහ ආර්ජන්ටිනාව යන රටවල් සංචාර සඳහා යෝග්‍ය රටවල් ලෙස චීන රජය විසින් ලැයිස්තුගත කරන ලදී.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

බීජිං

2023 ජනවාරි 24 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close