සංවර්ධන සහයෝගීතාව පිළිබඳ නෝර්වේජියානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි

සංවර්ධන සහයෝගීතාව පිළිබඳ නෝර්වේජියානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රී ලංකාවේ සංචාරය කරයි

StateMinister-Norway

සංවර්ධන සහයෝගීතාව පිළිබඳ නෝර්වේජියානු රාජ්‍ය ලේකම් ජෙන්ස් ෆ්‍රොලික් හෝල්ට් මහතා 2018 ජූනි 23 වැනි සෙනසුරාදා සිය තෙදින ශ්‍රී ලංකා සංචාරය නිමාවට පත් කළේය. 

සිය සංචාරය අතරතුරදී, රාජ්‍ය ලේකම් හෝල්ට් මහතා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම්, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් යන මහත්වරුන් හමු වී සාකච්ඡා පැවැත්වීය.

සාගර තිරසර ආකාරයෙන් භාවිතයට ගැනීමේදී සහ සාමුද්‍රීය කැලිකසළ කළමනාකරණය කිරීමේදී මතුවන පොදු අභියෝග සහ පොදු අභිලාෂයන්,  ධීවර ක්ෂේත්‍රයේ දැනට පවතින සහයෝගීතාව, නාවික අවකාශය සැලසුම් කිරීම, සාමය ගොඩනැංවීමේ හා ප්‍රතිසන්ධානයේ ප්‍රගතිය, සහ දෙරට අතර ද්වි-මාර්ගික සංචාරක ප්‍රවර්ධනයද ඇතුළු, ආර්ථික සංවර්ධනය යන කරුණු මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

රාජ්‍ය ලේකම් හෝල්ට් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය සිදු වූයේ 2016 අගෝස්තු මාසයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් සහ නෝර්වේ අග්‍රාමාත්‍ය එර්නා සොල්බර්ග් මහත්මිය අතර කොළඹදී පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී එකඟ වූ සහයෝගිතා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පසු විපරම් කටයුතු කිරීමේ සන්දර්භය තුළය.

සංවර්ධන සහයෝගීතාව පිළිබඳ නෝර්වේ නියෝජිතායතනයට (නෝරාඩ්) අයත් සහ සාමුද්‍රීය පර්යේෂණ පිළිබඳ නෝර්වේජියානු ආයතනය හා බර්ගන් විශ්ව විද්‍යාලය හවුලේ ක්‍රියාත්මක කරවන, ලොව ඇති විශිෂ්ටතම පර්යේෂණ නෞකාවලින් එකක් වන ආචාර්ය ෆ්‍රිඩ්ජොෆ් නැන්සෙන් නෞකාවේ ශ්‍රී ලංකා ආගමනයට සමගාමීව මෙම සංචාරය සිදු කෙරිණි.  ශ්‍රී ලංකාව වටා දින 26 ක පර්යේෂණ චාරිකාවක නිරත වන මෙම නෞකාව සමුද්‍ර සම්පත් සිතියම්ගත කිරීමට සහය වනු ඇත. ජාතික ධීවර ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කිරීමට තාක්ෂණික සහය ලබාදීමද ඇතුළුව, මෙම පර්යේෂණ නෞකාව භාවිතයෙන් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පත් සහ සාමුද්‍රීය පරිසර පද්ධතිය සමීක්ෂණය කිරීමට සහය ලබාදීම ධීවර ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා-නෝර්වේ සහයෝගීතාවේ වැදගත් මූලිකාංග වේ.

දේශගුණ විපර්යාසය, සමුද්‍රය සංරක්ෂණය කිරීම, සාමය සහ යුක්තිය, පුමතිරි සමානාත්මතාව සහ දැරිය හැකි මිලකට ලැබෙන පිරිසිදු බලශක්තිය යනාදියට අදාල එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන අරමුණුවලට සම්බන්ධ ප්‍රමුඛතා අංශ කෙරෙහිද නෝර්වේ රාජ්‍යය ශ්‍රී ලංකාවට ලබාදෙන සංවර්ධන සහයෝගීතාව සිය අවධානය යොමු කරයි.  

මෙම සංචාරය අතරතුරදී, කොළඹ පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ධීවර අමාත්‍යාංශය විසින් 2018 ජූනි 21 වැනි දින සංවිධානය කරනු ලැබූ “14 වැනි තිරසර සංවර්ධන අරමුණ- ජලයට යටින් ඇති ජීවය යන මැයෙන් යුත් සම්මන්ත්‍රණය අමතා රාජ්‍ය ලේකම් හෝල්ට් මහතා දේශනයක් පැවැත්වීය.

යාපනයේද සංචාරය කළ හෝල්ට් මහතා ගුරුනගර්හි ධීවරයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මුණගැසුණු අතර ප්‍රදේශයේ ජනතාව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමඟ එක්ව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනකට එක් විය. පලාලිහි කෘෂිබෝග නිපදවන්නන්ගේ අලෙවි සමුපකාර සමිතියට සම්බන්ධ එළවලු සහ පළතුරු ඇසුරුම් කිරීමේ මධ්‍යස්ථානයක්ද ඔහු විවෘත කළේය.

සමුද්‍රය මත පදනම් වූ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ සහ නීල ආර්ථික ක්ෂේත්‍රයේ හවුල්කාරීත්ව ගොඩනැඟීමේ අරමුණෙන් යුතුව සාමුද්‍රීය, නාවික සහ ජලජීවී වගා යන ක්ෂේත්‍රවල දෙරටේම නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්  යුත් නීල ආර්ථික ව්‍යාපාරික සම්මන්ත්‍රණයක් ජූනි 23 වැනි සෙනසුරාදා රාජ්‍ය ලේකම් හෝල්ට් මහතා අතින් විවෘත විය.

1970 ගණන්වල මුල්භාගයේ සිට මේ දක්වා නෝර්වේ රාජ්‍යය ශ්‍රී ලංකාවේ සංවර්ධන හවුල්කරුවකු ලෙස ක්‍රියා කරන අතර එරටෙන් ලබා දෙන ලද සංවර්ධන සහය ශ්‍රී ලංකාවේ සමාජ සහ මානව සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් සපයා තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය
කොළඹ 
2018 ජූනි 24 වැනිදා
 StateMinister-Norway2
 NorwayStSec1 Norway3
Print Friendly, PDF & Email
Please follow and like us:

Close