දිවංගත ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාට ගෞරව පිණිස ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ සිතුවමක් නිරාවරණය කෙරෙයි

දිවංගත ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාට ගෞරව පිණිස ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ සිතුවමක් නිරාවරණය කෙරෙයි

OMPI0486.jpg

දිවංගත ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාට ගෞරව පිණිස 2018 ජූනි 21 වැනි දින ජිනීවා නුවර ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේදී සිතුවමක් නිරාවරණය කළ එක්සත් රාජධානියේ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ රාජ්‍ය ලේකම් ලියාම් ෆොක්ස් මහතා, "අප සියලු දෙනාටම ආදර්ශයක් වූ මෙන්ම අඛණ්ඩවම ආදර්ශයක් සපයන" දිවංගත ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ චරිතයෙන් පාඩම් ඉගෙනීමට එම සිතුවම අනාගත පරම්පරාව සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ කාර්ය මණ්ඩලය පොළඹවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව පැවසීය.  දිවංගත කදිර්ගාමර් මහතාගේ ජීවිතය සිහිපත් කරමින් ජාත්‍යන්තර සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන්ද සමන්විත ආරාධිත සභාවක් අමතා ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

දිවංගත අමාත්‍යවරයාගේ බිරිය වන සුගන්ධි කදිර්ගාමර් මහත්මිය විසින් ලෝක බුද්ධිමය දේපළ සංවිධානයට තිළිණ කරන ලද මෙම සිතුවම, 'බුද්ධිමය දේපළ සහ සංගීතයේ ප්‍රකාශන හිමිකම' පිළිබඳ ඓතිහාසික කාව්‍යමය ආඛ්‍යානයක් වන 'ගුත්තිල නම් වීණා වාදකයා' නිරූපණය කෙරෙන, ශ්‍රී ලංකාවේ කීර්තිමත් චිත්‍ර ශිල්පියකු වන ස්ටැන්ලි කිරින්දේ මහතාගේ අග්‍රගණ්‍ය නිර්මාණවලින් එකකි. මෙම උත්සවය ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෆ්‍රැන්සිස් ගරී මහතාගේ අනුග්‍රාහකත්වයෙන් සංවිධානය කෙරිණි.

මෙම අවස්ථාවේ තවදුරටත් අදහස් දැක්වූ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ බ්‍රිතාන්‍ය රාජ්‍ය ලේකම්වරයා, කදිර්ගාමර් මහතා "යෝධ මිනිසකු" ලෙස හඳුන්වාදෙමින්, ඔහුගේ අප්‍රතිහත මෙහෙවරත්, ගෝලීය අවබෝධතාව සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමෙහිලා ඔහු ලබා දුන් දායකත්වයත් අගය කළේය.

දිවංගත කදිර්ගාමර් මහතා ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ සේවය කරද්දී ඔහු හා තමන් අතර පැවැති සමීප සම්බන්ධතාව සිහිපත් කළ අධ්‍යක්ෂ ජනරාල් ගරී මහතා, නිර්මාණාත්මක චින්තනය ඔස්සේ බුද්ධිමය දේපළ ක්ෂේත්‍රය පිළිබඳව විශේෂඥ දැනුම ලබාගැනීමට කදිර්ගාමර් මහතා තමාට උපකාර කළ බව ප්‍රකාශ කළේය. දිවංගත අමාත්‍යවරයා 1976 – 1988 කාලය තුළ ආසියා, ශාන්තිකර කාර්යාංශයේ පළමු අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ අතර, බුද්ධිමය දේපළ පිළිබඳ ශක්නුතා වර්ධනය මගින්ද ඇතුළුව සමාජ- ආර්ථික සංවර්ධනය පිණිස බුද්ධිමය දේපළ ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව කලාපයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් තුළ ඇතිකරමින් සංවර්ධන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා පුරෝගාමී විය.

වෘත්තිකභාවය හා කුසලතා පෝෂණය  කිරීම මගින් දිවංගත අමාත්‍යවරයා ඉතිරි කොට ගිය ඵලදායී උරුමය පිළිබඳව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති ඒ.එල්.ඒ අසීස් මහතා සිහිපත් කළේය. දිවංගත අමාත්‍යවරයා "සාමකාමී, සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක්" පිළිබඳව සිහින මැවූ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම උත්සවයේ සම්බන්ධීකරණ කටයුතු එක්සත් ජාතීන් සඳහා වූ  ශ්‍රී ලංකා හා එක්සත් රාජධානි නිත්‍ය නියෝජිත කාර්යාල සහ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය මගින් සිදු කරන ලදී.

ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය
ජිනීවා
2018 ජුනි 21වැනිදා

 

 

 

OMPI0456.jpg

OMPI0473.jpg

(Photographs Credit: WIPO. Emmanuel Berrod)  

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close