ව්‍යසනකාරී භූ කම්පනයෙන් පසුව තුර්කියේ පවතින තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

ව්‍යසනකාරී භූ කම්පනයෙන් පසුව තුර්කියේ පවතින තත්ත්වය පිළිබඳ ප්‍රකාශය

2023 පෙබරවාරි 6 වැනි දින තුර්කියේ අග්නිදිග ප්‍රදේශයේ හටගත් භූ කම්පනය සහ පසු කම්පන හේතුවෙන් සිදු වූ විශාල ජීවිත හානි, පුද්ගල හානි සහ දේපළ හානි පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටියි.

ශ්‍රී ලංකා රජය, මෙම ඛේදවාචකයෙන් ඉක්බිතිව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් මත,  ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා තුර්කි රජයට අවශ්‍ය කඩිනම් ආධාර ලබා දීමට ඉදිරිපත් විය. ඒ අනුව, තුර්කියේ ක්‍රියාත්මක වන සෝදිසි මෙහෙයුම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සහය වීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් වෛද්‍ය සහ ඉංජිනේරු බලකායේ හමුදා බල ඇණියක්  සූදානම් කරන ලදී. එවැනි කඩිනම් ආධාර පතා තුර්කි රජය විසින් ඉල්ලීමක් යොමු කරනු ලැබුවහොත්,  මෙම කණ්ඩායම තුර්කිය වෙත පිටත් කර හරිනු ලැබේ.

තුර්කියේ විපතට පත් ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් 16 දෙනෙකු ජීවත් වන බවත්, ඉන් පුද්ගලයන් 15 දෙනෙකු ආරක්ෂිතව සිටින බව තහවුරු වී ඇති බවත්, අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති හසන්ති උරුගොඩවත්ත දිසානායක මැතිනිය තහවුරු කළා ය. අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අවශේෂ ශ්‍රී ලාංකිකයාගේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමේ ක්‍රියාවලියක නිරතව සිටියි. තුර්කියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිළිබඳව යොමු කෙරෙන විමසීම් සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ හදිසි ඇමතුම් අංකය වන +90 534 456 94 98 හරහා අඛණ්ඩව සේවා සපයනු ලැබේ. බලපෑමට ලක් වූ කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය සොයා බැලීම සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අදාළ කලාපවල නිර්වේතනික කොන්සල්වරුන්ගේ සහය ලබාගැනීමට ද තානාපති කාර්යාලය කටයුතු කර ඇත.

2004 වර්ෂයේ දෙසැම්බර් මස හටගත් සුනාමි ව්‍යසනය හමුවේ තුර්කි රජය මෙරටට ලබා දුන් මානුෂීය ආධාර ශ්‍රී ලංකාව විසින් ස්තුතිපූර්වකව සිහිපත් කරනු ලැබේ. මෙම කනගාටුදායක මොහොතේ දී තුර්කියේ සිටින විපතට පත් පවුල් ඇතුළු සියලුම ජනතාව සඳහා සිය සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර සිටියි.

විදේශ කටයුතු අමාත්‍යංශය

කොළඹ

2023 පෙබරවාරි 7 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close