සභාපතිතුමියනි,
ආගමික හෝ විශ්වාසයේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරු අහ්මඩ් ෂහීඩ් මහතා 2019 අගෝස්තු 15-26 දිනවල දී ශ්‍රී ලංකාවේ නියැලුණු සංචාරයෙන් අනතුරුව, අද දින මෙම කවුන්සිලයට ඉදිරිපත් කර ඇති වාර්තාව (A/HRC/43/48/Add.2) කෙරෙහි ශ්‍රී ලංකාවේ සැලකිල්ල යොමුවෙයි. මෙම විශේෂ වාර්තාකරුගේ මුලින් සකසන ලද, සංස්කරණය නොකළ වාර්තාව, අදහස් දැක්වීම සඳහා 2020 පෙබරවාරි 03 වැනි දින ලබා දෙනලද අතර, 2020 පෙබරවාරි 28 වැනි දින එනම්, පසුගිය සිකුරාදා අවසාන දිනය ලෙස ලබා දී තිබූ හෙයින්, එය අදදින එනම්, සඳුදා දින අන්තර් ක්‍රියාකාරී සංවාදයකට හේතුවී ඇත.
කෙසේවෙතත්, ලැබී ඇති සීමිත කාලසීමාව තුළ දී, මෙම විශේෂ වාර්තාකරුගේ වාර්තාව පිළිබඳව පොදු නිරීක්ෂණ කිහිපයක් ලබාදීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. අපගේ සම්පූර්ණ නිරීක්ෂණ පසුව ලැබෙනු ඇති අතර, ඒවා මෙම වාර්තාවේ කොටසක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස අපි ඉල්ලා සිටිමු.
2019 අගෝස්තු මස දී, මෙම විශේෂ වාර්තාකරු ශ්‍රී ලංකාවට පිළිගනු ලැබුවේ පාස්කු ඉරුදින දේවස්ථානවල හා හෝටල්වල සිටි අහිංසක සාමාන්‍ය ජනතාව ඉලක්ක කරගනිමින්, නිවාඩු ගත කිරීමට මෙරටට පැමිණි විදේශිකයන් 45 දෙනෙකු ඇතුළුව 258 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින්, ශ්‍රී ලංකාවේ සිටි අයි.එස්.අයි.එස්. සංවිධානයේ යම් කණ්ඩායම් විසින් එල්ල කරන ලද දරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවකින් අපරට පීඩාවට පත් වී මාස 04 කට පමණ පසුවය. අප රට ජාතික වශයෙන් අභියෝග රැසකට මුහුණ දී පැවති අවධියක මෙම සංචාරය සඳහා පහසුකම් සැලසීම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණ සමඟ විවෘත හා ඵලදායී සංවාද පැවැත්වීමේ මෙම රජයේ ප්‍රතිපත්තිය විද්‍යමාන කිරීමක් විය.
ජාතීන් හා ආගම් වශයෙන් අසමානතා තිබුණ ද, ශ්‍රී ලංකාවේ ජනතාව ශතවර්ෂ ගණනාවක් පුරා සාමකාමීව ජීවත් වී තිබෙන අතර, තවදුරටත් ඔවුහු එසේ ජීවත් වෙති. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යසනයෙන් පීඩා විඳි ඔවුහු, දුෂ්කර තත්ත්ව හමුවේ දිනාගත් සාමය හා නිදහස භුක්ති විඳිමින් සිටිය අතර, පසුගිය දශකය මුළුල්ලේ සංහිදියා හා ජාතික වශයෙන් සුවපත්වීමේ ක්‍රියාවලියක් ආරම්භ කොට තිබුණි. කෙසේවෙතත්, ගෝලීය තර්ජනයක් වන ත්‍රස්තවාදයේ, රැඩිකලීකරණයේ හා අන්තවාදයේ සියලු රටවලට පොදුවූ ප්‍රතිවාදියකු සමඟ අපි සටන් කරමින් සිටින බව, පාස්කු ඉරුදින ප්‍රහාර අපට සිහිපත් කළේය.
මෙම සන්දර්භය හමුවේ, පාස්කු ඉරුදින ප්‍රහාරවලින් පසුව මාස කිහිපයක් තුළ, ශ්‍රී ලංකාවේ ආගමික හෝ විශ්වාසයන්හි නිදහස සඳහා ඇති ඉඩකඩ පිළිබඳව විනිශ්චය කිරීමට විශේෂ වාර්තාකරුගේ වාර්තාව මගින්, විශාල වශයෙන් උත්සාහ දරා තිබීම අවාසනාවක් බවට අපි සලකමු. අපට සිහිපත් වන පරිදි, මෙම ප්‍රහාරවල විශාලත්වය හේතුකොටගෙන ශ්‍රී ලංකාවේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ අතර, එමඟින්, ජාතික ආරක්ෂාව හා මානව හිමිකම් අතර සියුම් සමතුලිතතාව පවත්වාගනිමින් සියලුම ප්‍රජාවන්ගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය උදෙසා රටේ විවිධ ප්‍රදේශවල සිටින ත්‍රස්තවාදී කොටස් හඳුනාගෙන ඔවුන් උදාසීන කිරීම සඳහා කඩිනම් පියවර ගැනීමට මෙම රජයට සිදු විය. මෙම ප්‍රහාරවලින් ඉක්බිතිව, සිවිල් නොසන්සුන්තාවයේ පළිගැනීමේ ක්‍රියාවන් වැළැක්වීම සඳහා, නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා හා ඉතා වැදගත් පියවර ලෙස සියලුම ජනතාවගේ, විශේෂයෙන් මුස්ලිම් ජනතාවගේ සුරක්ෂිතභාවය හා ආරක්ෂාව සහතික කරලීම සඳහා වහවහා ගතහැකි සියලුම පියවර මෙම රජය විසින් ගන්නා ලදී. එම තත්ත්වය පාලනය කිරීමට උපකාරී වූ ඵලදායී හා ප්‍රතිසන්ධානාත්මක ප්‍රවේශයන් සහ රටේ සිවිල් හා දේශපාලන නායකත්ව විසින් කරන ලද ඉල්ලීම්, පුළුල් පිළිගැනීමට හා අගය කිරීමට ලක්විය. ආරක්ෂක නියෝජිතායතන දියත් කළ විමර්ශන හා සෙවීමේ මෙහෙයුම්වල දී එම හමුදාවන්ට සහාය ලබාදීමට, විශේෂයෙන්, මුස්ලිම් ප්‍රජාව ඉතා ක්‍රියාකාරීව ඉදිරිපත්විය. අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඔවුන්ගේ නීතිමය ආරක්ෂාව ලබාදී ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා ස්වාධීන ආයතනවලට ප්‍රවේශය ලබාදී ඇත.
ත්‍රස්ත ප්‍රහාරයෙන් සති 03 කට පසුව සිදුවූ කළහකාරී ප්‍රචණ්ඩත්ව සිදුවීම් ජාතිවාදී අභිප්‍රේරණයක් නිසා නොව නොහික්මුණු කොටස් නිසා සිදුවූවකි. මෙම කළහකාරී පිරිස් අත්අඩංගුවට ගනිමින් සහ වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවමින්, රජය විසින් සාර්ථක ලෙස එය මැඩපවත්වන ලදී. සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ හා අප රටට පැමිණි විදේශිකයන්ගේ සුරක්ෂිතභාවය සහ ආරක්ෂාව යළිත් වරක් සහතික කරමින්, රට කඩිනමින් යථා තත්ත්වයට පත්විය. අදාළ නෛතික විධිවිධාන බලාත්මක කිරීම තුළින් හා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සාමය හා නීතියේ ආධිපත්‍යය මැනවින් යළි ස්ථාපිත කර තිබේ. මේ සම්බන්ධයෙන් අප්‍රමාද හා වෘත්තීමය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අපගේ ආරක්ෂක හමුදාවන් විශේෂ ඇගයීමකට ලක්කිරීම යෝග්‍ය වෙයි.
එහෙයින්, “ශ්‍රී ලාංකික ආරක්ෂක හමුදාවන් කළහකාරී පිරිස් සමග එක්ව කුමන්ත්‍රණ කටයුතු සිදුකිරීම සහ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට හෝ නැවැත්වීමට කටයුතු නොකිරීම”; “මෙම ප්‍රචණ්ඩත්වයට එරෙහිව බලධාරීන්ගේ ප්‍රතිචාරයක් නොලැබීම” “බලධාරීන්ගේ නිශ්ශබ්දතාව සහ ඒ පිළිබඳව පියවර නොගැනීම හේතුවෙන් මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා නිදහසේ සිදුවන බව” කියා සිටිමින්, මෙම විශේෂ වාර්තාකරුගේ වාර්තාවේ “සැලකිල්ල යොමුවිය යුතු බරපතල කරුණු” ලෙස සාවද්‍ය ලෙස දක්වාලීම මෙම රජය ප්‍රතික්ෂේප කරයි. මේවා සිදුවී ඇති බවට චෝදනා ලැබීමෙන් අනතුරුව, රජය විසින් මේවා සම්පූර්ණයෙන් අසත්‍ය යැයි ඔප්පු කිරීමෙන් හා කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව පවා මෙම සාවද්‍ය කරුණු මෙම වාර්තාවට ඇතුළත්කර තිබීම කණගාටුවට කරුණකි.
ත්‍රස්තවාදී ක්‍රියා වැළැක්වීම සඳහා නීත්‍යානුකූලව අපරාධ පරීක්ෂණ පවත්වන ලද අවස්ථා, ආගමික හෝ විශ්වාසයේ නිදහස උල්ලංඝනය කිරීමේ ප්‍රයත්න ලෙස නිරූපණය කිරීමට මෙම වාර්තාව මඟින් උත්සාහ දැරීම කනගාටුවට කරුණකි.
ඇඳුම් පැළඳුම් සඳහා සීමාවන් පැනවීම පිළිබඳ කර ඇති සඳහන සම්බන්ධයෙන්, අදාළ රෙගුලාසි එකල පැවති කුමන හෝ අවස්ථාවක එල්ල විය හැකි ආරක්ෂක තර්ජනය සැලකිල්ලට ගනිමින්, අනන්‍යතාවය සඟවා ගැනීම වැළැක්වීම අරමුණු කොට, හදිසි අවස්ථා රෙගුලාසි යටතේ ගන්නා ලද තාවකාලික පියවරක් බව සඳහන් කෙරේ. මේ සම්බන්ධයෙන්, මහජන ආරක්ෂාව, සාමය, සෞඛ්‍යය, හෝ සදාචාරය හෝ අන් අයගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කිරීම සඳහා යමෙකුගේ ආගම හෝ විශ්වාසයන් ප්‍රකාශ කිරීමේ නිදහසට සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) මඟින්ම නීතිමය සීමාවන් පනවා ඇති බව මෙම කවුන්සිලයේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමු.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති (ICCPR) පනත සුළු ජාතීන් ආරක්ෂා කිරීම සඳහා යොදාගෙන නැති නමුත්, ආගමේ හෝ විශ්වාසයේ නිදහස සීමා කරන “මර්දනකාරී මෙවලමක්” බවට පත්ව ඇති බවට මෙම වාර්තාවේ සඳහන් සාවද්‍ය ප්‍රකාශය ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි. මේ සම්බන්ධයෙන්, 2007 දී බලාත්මක කළ දින සිට මේ දක්වා එම පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ගෙන් 90% ක්ම බහුතර සිංහල ප්‍රජාවට අයත් අය බව පෙන්වා දීමට කැමැත්තෙමු.
වෙනත් ආගම්වලට වඩා බුද්ධාගමේ ඇති “ශ්‍රේෂ්ඨත්වය” මත පදනම්ව සිදුවූවා යයි කියනු ලබන වෙනස් කොට සැලකීම් පිළිබඳව මෙම වාර්තාවේ දක්වා ඇති අදහස් සම්බන්ධයෙන්, රජය විසින් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම හා පෝෂණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය මඟින් නියම කරන බවත්, සියලු ආගම් සඳහා ව්‍යවස්ථාව යටතේ ලබා දී ඇති අයිතිවාසිකම් සහතික කරන බවත් අවධාරණය කිරීමට කැමැත්තෙමු. සාමාන්‍ය ජීවිතයේ ඕනෑම අවස්ථාවක දී ආගම හෝ විශ්වාසය මත පදනම්ව පුද්ගලයෙකුට වෙනස්කොට සැළකීමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ජාතික නීතිවල කිසිදු විධිවිධානයක් මඟින් ඉඩ කඩ ලබා නොදේ. එපමණක් නොව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තියට අනුව, ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශපාලන මතය, උපන් ස්ථානය හෝ වෙනත් එවැනි හේතු මත පදනම්ව වෙනස් කොට සැළකීම තහනම් වේ.
යම් යම් අවස්ථාවල දී, ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනයන්, අනුමාන කරුණු මත පදනම්ව සාවද්‍ය ලෙස විශේෂ වාර්තාකරුගේ වාර්තාවේ පිළිබිඹු වී ඇත. තවත් යම් යම් අවස්ථාවල දී, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විධිවිධාන සාවද්‍ය ලෙස පිළිබිඹු වී ඇති අතර, නිදසුනක් වශයෙන්, ආගමට හරවා ගැනීමේ හා පරිවර්තනය කිරීමේ අයිතිය පිළිබඳ විශේෂ වාර්තාකරුගේ අදහස්, ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවල සාවද්‍ය පිළිබිඹුවකි.
එක්තරා ආගමික ප්‍රජාවකට අයත් තරුණ තරුණියන් ත්‍රස්තවාදී ක්‍රියාවන්හි යෙදෙන තාක් දුරට රැඩිකලීකරනයට යොමු වූ ආකාරය හා මූල හේතු පිළිබඳව ප්‍රමාණවත් ලෙස සාකච්ඡා කිරීමට මෙම වාර්තාව අපොහොසත් වී ඇති අතර, වින්දිතයින්ගේ පවුලේ සාමාජිකයන් සහ සැකකරුවන් මෙන්ම අනෙකුත් මධ්‍යස්ථ කණ්ඩායම් ඇතුළු ශ්‍රී ලාංකික සමාජයේ පුළුල් පරාසයක ආදානයන් ඊට ලැබී නොමැති බව පෙනේ. පූජනීය ස්ථානවලට එරෙහි ප්‍රහාර සහ ඒවා කෙළෙසීම පිළිබඳ විස්තර කිරීමේ දී, බෞද්ධ පූජනීය ස්ථානවලට එල්ල කළ ප්‍රහාර හා විනාශ කිරීම් සහ රටේ ඇතැම් ප්‍රදේශවල බෞද්ධ බැතිමතුන්ට බාධා කළ අවස්ථා පිළිබඳව සඳහන් කිරීමට මෙම වාර්තාව අසමත් වී තිබේ.
අන්තවාදී කොටස් පිළිබඳව සෑම අංශයකින්ම කටයුතු කිරීම, ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට හානි පූරණ ලබා දීමේ කාර්යාලය හරහා වන්දි ගෙවීම සහ අන්තර් ආගමික සභාවක් වැනි යාන්ත්‍රණ පිහිටුවීම යනාදී, ආගමික සහජීවනය පෝෂණය කිරීම සඳහා රජය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් ගනු ලැබූ ධනාත්මක ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රමාණවත් ලෙස සළකා බැලීමට මෙම වාර්තාව අසමත් වෙයි. අප්‍රේල් 21 වැනි දින එල්ල වූ ප්‍රහාරවලින් අනතුරුව, බෞද්ධයන් හා කිතුනුවන් විසින් මුස්ලිම්වරුන් යාඥාකරන අවස්ථාවල දී ආරක්ෂා කිරීම, හානියට පත් දේපළ අලුත්වැඩියා කිරීම සහ හානියට පත් දේවස්ථාන ආරක්ෂක හමුදා විසින් යථා තත්ත්වයට පත් කිරීම මඟින් පෙන්නුම් කරන ලද පරිදි, සෙසු සියලු ආගම්වල පුරවැසියන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට සහාය වීම සඳහා ශ්‍රී ලාංකිකයින්ගේ යථා තත්ත්වයට පත්වීමේ හැකියාව හා සහයෝගීතාවය, මෙම වාර්තාවේ පිළිබිඹු වී නොතිබීම අවාසනාවකි. මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ දී මානව හිමිකම් කොමිෂන් සභාව වැනි ශ්‍රී ලංකාවේ ස්වාධීන ආයතන විසින් ඉටු කරන ලද ප්‍රශංසනීය කාර්යභාරය කෙරෙහි ද මෙම වාර්තාවේ නිසි අවධානය යොමු වී නොමැත.
“පාසල් විෂය මාලාව මානව හිමිකම් අධ්‍යාපනය ඇතුළත් වන පරිදි සැලසුම් කළ යුතු” බව මෙම වාර්තාවේ සඳහන් වන අතර, මානව හිමිකම් අධ්‍යාපනය දැනටමත් පාසල්වල ජාතික විෂය මාලාවේ කොටසකි. විවිධ ප්‍රජාවන්ගේ සහ ආගම්වල පාසල් ළමුන් අතර මනා අවබෝධයක් ඇති කිරීම සඳහා පාසැල් ඇතුළු විවිධ මට්ටම්වල විෂය සමගාමී වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සැලසුම් කොට ක්‍රියාත්මක කෙරෙමින් පවතී.
අදාළ ගැටලු විසඳීමට අවශ්‍යවන විශ්වසනීය ආයතන, ධාරිතාව සහ නෛතික රාමුව රජය සතුව පවතින බව ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එහි සියලු ජනතාවගේ හෘද සාක්ෂියේ හා ආගමේ නිදහස ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට ශ්‍රී ලංකාව ඇප කැපවී සිටියි.
මේ සඳහා විශේෂ වාර්තාකරු සහ මෙම කවුන්සිලය සමඟ ඵලදායී හා අර්ථවත් ආකාරයකින් අඛණ්ඩව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙමු.
ස්තුතියි.