2022 නොවැම්බර් 24 වැනි දින බංග්ලාදේශයේ ඩකා නුවර පැවති 22 වැනි ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය කවුන්සිල රැස්වීමේ දී (COM) විදේශ කටයුතු අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය

2022 නොවැම්බර් 24 වැනි දින බංග්ලාදේශයේ ඩකා නුවර පැවති 22 වැනි ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය කවුන්සිල රැස්වීමේ දී (COM) විදේශ කටයුතු අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශය

ගරු විදේශ කටයුතු අමාත්‍ය සහ අමාත්‍ය කවුන්සිලයේ සභාපති ආචාර්ය ඒ. කේ. අබ්දුල් මොමන් මැතිතුමනි,

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ සාමාජික රටවල ගරු විදේශ කටයුතු අමාත්‍යවරුනි,

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ගරු මහලේකම් සල්මාන් අල් ෆාරිසි මැතිතුමනි,

 ගරු අමාත්‍යවරුනි,

සම්භාවනීය නියෝජිතයනි,

මහත්ම මහත්මියනි,

අද දින පැවැත්වෙන 22 වැනි අමාත්‍ය කවුන්සිල රැස්වීමේ දී, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ උප සභාපතිවරයා ලෙසත්, ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙසත් මෙම ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ලැබීම ඉමහත් සතුටට හා වරප්‍රසාදයට කරුණකි. සභාපතිතුමනි, මෙම රැස්වීම මෙහෙයවීම සඳහා ඔබ ලබා දෙන විශිෂ්ට නායකත්වය සහ මඟ පෙන්වීම මෙන්ම, සංගමයේ ඉදිරි අරමුණු සහ කාර්යයන් සම්පූර්ණ කිරීම සඳහා ඔබ ලබා දෙන  මගපෙන්වීම වෙනුවෙන් ප්‍රථමයෙන් මම ඔබතුමාට සුබ පතමි. එමෙන්ම, බංග්ලාදේශ රජය පිරිනැමූ සුවිශේෂී ආගන්තුක සත්කාර පිළිබඳව ද මාගේ දූත පිරිසේ ගැඹුරු ඇගයීම පළ කිරීමට මම කැමැත්තෙමි. පසුගිය වසර මුළුල්ලේ කොවිඩ්-19 වසංගතය මඟින් එල්ල වූ අභියෝග මධ්‍යයේ වුවද, මෙම රැස්වීම සංවිධානය කිරීම සහ අඛණ්ඩව ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ රැස්වීම් පැවැත්වීම මගින් ඔබ ලබා දුන් සත්කාරකත්වය, සාමාජිකයන් 23 දෙනෙකුගෙන් යුත් මෙම ශක්තිමත් සහ විචිත්‍රවත් සංවිධානය සඳහා බංග්ලාදේශ රජය දක්වන කැපවීම සඳහා සාක්ෂි දරයි. මෙම රැස්වීම සඳහා අවැසි ලේඛනගත කිරීම ආශ්‍රිත සහය සහ ආයතනික සහයෝගය ලබා දුන් ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ ලේකම් කාර්යාලය වෙත අපගේ අවංක කෘතඥතාව පළ කිරීමටත්, මහලේකම්තුමනි, ඔබතුමා ලබා දුන් මගපෙන්වීම සඳහාත් මාගේ ස්තුතිය පුද කිරීමට කැමැත්තෙමි.

ගරු අමාත්‍යවරුනි,

මහත්ම මහත්මියනි,

දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට සාගරය කිසි දිනෙක ආගන්තුක වූවක් නොවේ. ලෝකයේ කාර්යබහුලම සාගර සන්නිවේදන මාර්ග මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව, භූගෝලීය වශයෙන් ඉන්දියානු සාගරය සමඟ සම්බන්ධ වන අතර, එහි විභව ශක්‍යතාව මෙම උපායමාර්ගික සාගරය සමඟ අත්‍යන්තව සම්බන්ධ වී ඇත. ඉන්දියානු සාගරය ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ පටන් ශ්‍රී ලංකාවේ උපායමාර්ගික කටයුතු, ආරක්‍ෂාව සහ දේශපාලන වංශකතාවේ කොටසක් බවට පත්ව ඇත. පුරාණ අතීතයේ සිට නූතන අවධිය දක්වා කාලය විමසූ කල, ඉන්දියානු සාගරය ඔස්සේ ශ්‍රී ලංකාව පිරිනමන සුවිශේෂී ඓතිහාසික වැදගත්කම ගෝලීය වෙළෙඳාම, වාණිජ සහ ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ඉතා වැදගත් වන බව හඳුනාගත හැකි ය.  ඉන්දියානු සාගරයේ රටවල් සමඟ ශ්‍රී ලංකාව පවත්වන සාම්ප්‍රදායික හා පෞරාණික සම්බන්ධතා ක්‍රි.පූ දෙවැනි සියවස දක්වා දිව යයි. ශ්‍රී ලංකාව සතු උපායමාර්ගික භූගෝලීය කේන්ද්‍රස්ථානය හේතුවෙන් අවම වශයෙන් ක්‍රි.පූ. 2 වැනි සියවසේ සිට වෙළෙඳ සහ සංස්කෘතික හුවමාරු යන දෙඅංශයෙන්ම සක්‍රීය සමුද්‍රීය ගනුදෙනු ක්‍රියාත්මක වූ බව පෙන්වන බොහෝ සාක්ෂි ඉදිරිපත් වී ඇත. යුරෝපීයන්, අරාබිවරුන්, ඉන්දියානුවන් සහ චීන ජාතිකයන් සම්බන්ධ කළ "සමුද්‍රීය සේද මාර්ගය" තුළ සමෘද්ධිමත් වෙළඳ කටයුතු පැවති බව ශ්‍රී ලංකාවේ පෞරාණික සමුද්‍ර වෙළඳාම පිළිබඳව සිදු කරන ලද බොහෝ වැදගත් පර්යේෂණ සහ අධ්‍යයනයන් මගින් හඳුනාගෙන ඇත.

වෙළෙඳාම සම්බන්ධනේ අතීතයේ සිට සැලකිය යුතු විවෘතභාවයක් පෙන්නුම් කළ රටක් ලෙස ගොඩනැගුණු අප, වර්තමානය වන විට ඉන්දියානු  සාගරයේ ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්ව සිටින්නෙමු. එබැවින්, ඉන්දියානු සාගරය හා සබැඳි කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සතු කැපවීම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා විදේශ ප්‍රතිපත්තිය තුළ ප්‍රමුඛස්ථානයක් උසුලයි.  ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස අප ලැබූ ප්‍රගතිය හේතුවෙන්, ගෝලීය තෙල්වලින් 2/3 ක් පමණ සහ ගෝලීය බහාලුම් නැව්ගත කිරීම්වලින් අඩක්ම ශ්‍රී ලංකාවේ දකුණු සමුද්‍රීය මාර්ග හරහා ගමන් කරයි. එබැවින්, ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ වඩාත් වැදගත් නාවික මාර්ගයක් සහ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත. මේ අනුව, මුහුදු සන්නිවේදන මාර්ගවල ආරක්ෂාව සුරක්ෂිත කිරීම සහ ඉන්දියානු සාගරයේ නාවික කටයුතුවල නියැළීමේ දී  නිදහස පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව වැදගත් වී ඇත. ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම,  කලාපීය වෙළෙඳපොළ තුළට ප්‍රවේශ වී ඇති ආකාරය සහ ප්‍රධාන බලවතුන්ගේ බලය විදහා දක්වන වේදිකාවක් ලෙස මෙම කලාපය ඉස්මතු වීම, ශ්‍රී ලංකාවේ ආර්ථික හා වාණිජ අවශ්‍යතා සඳහා ඉමහත් ලෙස දායක වේ.

ගරු අමාත්‍යවරුනි,

මහත්ම මහත්මියනි,

තවද, තවමත් පූර්ණ වශයෙන් හඳුනා නොගත්, ගවේෂණය නොකළ සහ කැණීම් නොකළ සම්පත්වලින් බහුල ඉන්දියානු සාගරය, මුහුදු පතුලෙහි ඛනිජ සම්පත, මත්ස්‍ය සම්පත සහ අනෙකුත් සාගර සම්පත් සඳහා අද වන විට වැඩිම ඉල්ලුමක් සහිත පර්යේෂණ මධ්‍යස්ථානයක් බවට පත්ව ඇත. වර්ධනය සඳහා ඉවහල් වන බලශක්තිය  සහ අනෙකුත් අවශ්‍යතා අවැසි, වේගයෙන් වර්ධනය වන ආර්ථිකයන් රැසක නිවහන බවට මෙම කලාපය පත්ව ඇති බැවින්, මෑත අතීතයේ ඉහළ ගිය ප්‍රවණතාවක් වූ මෙම “ජල ගෝලය” කෙරෙහි ගෝලීය අවධානයක් යොමු වෙමින් පවතින බව අපට දැකගත හැකි ය.

ඉන්දියානු සාගරය සුරැකීමටත්,  එහි සමුද්‍ර සම්පත් තිරසාර ලෙස භාවිතා කිරීමටත් ශ්‍රී ලංකාව කැපවී සිටියි. දැවැන්ත මට්ටමෙන් සිදු වන සාගර දූෂණය හා සබැඳි අභියෝගවලට මුහුණ දීම සඳහා අප දරන  උත්සාහයන් ආරම්භ වන්නේ, අවාසනාවන්ත ලෙස සමස්ත කලාපයම පෙර නොවූ විරූ පරිමාණයේ ව්‍යසනයකට බඳුන් කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ව්‍යසනය වැනි අනතුරු හේතුවෙනි. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුර,  ශ්‍රී ලංකාව නූතනයේ මුහුණ දුන් දරුණුතම සමුද්‍ර ව්‍යසනය යි. එම නෞකාවේ තිබූ ඉන්ධන මෙට්‍රික් ටොන් 325කට අමතරව අන්තරායකර ද්‍රව්‍ය සහිත භාණ්ඩ ඇතුළු කන්ටේනර් 1500කට ආසන්න ප්‍රමාණයක් ද තිබී ඇත. මෙම ව්‍යසනය වර්තමානය වන විට හඳුන්වනු ලබන්නේ ප්ලාස්ටික් කැබලි, අන්තරායකර හා හානිකර ද්‍රව්‍ය ආශ්‍රිත ලොව විශාලතම නාවික ව්‍යසනය ලෙස යි. මෙම හානිකර තත්ත්ව තුළ දැකගත හැකි  වර්ධනය වන ස්වභාවය හේතුවෙන් එම සිදුවීම භූගෝලීය වශයෙන් සිදු කොට ඇති හානිය හඳුනාගැනීමට තවමත් නොහැකිව ඇත. ප්ලාස්ටික් කැබලි හේතුවෙන් සිදු වූ සමුද්‍ර දූෂණයේ සැලකිය යුතු බලපෑම් ඉදිරි දශක කිහිපය තුළද සාගරය තුළ දැකගැනීමට හැකි වනු ඇත. ආදර්ශ අධ්‍යයනවලින් පෙනී යන්නේ මෙම ප්ලාස්ටික් කැබලි ඉන්දියානු සාගරයේ වෙරළ තීරය හරහා ගොඩබිමට සේන්දු වන බවයි. මෙම සිදුවීමෙන් පසුව, අපගේ සාගරය දූෂණයට ලක්වීම අවම කිරීම සහ  එහි පවිත්‍රතාව සහතික කිරීම සඳහා සැලකිය යුතු ආකාරයේ ව්‍යාපෘති සහ වැඩසටහන් කිහිපයක් අප විසින් ක්‍රියාත්මක කර ඇත්තෙමු. තවද, මෙම ව්‍යසනයේ ඍණාත්මක බලපෑම අවම කිරීම සඳහා සාගර දූෂණය සම්බන්ධයෙන් කටයුතු කරන සහ ආමන්ත්‍රණය කරන වෙනත් බොහෝ රටවල් සහ ජාත්‍යන්තර නියෝජිතායතන සමඟ ද අපි කටයුතු කරමින් සිටින්නෙමු.

සභාපතිතුමනි, ගරු අමාත්‍යවරුනි,

මහත්ම මහත්මියනි,

ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය සහ ඉන්දියානු  සාගර කලාපය හා සබැඳි ශ්‍රී ලංකාවේ අවශ්‍යතා රටට අතිශයින් වැදගත් වන බව අවධාරණය කිරීමට මම කැමැත්තෙමි. ඉන්දියානු සාගරයේ නැඟී එන වැදගත්කමට වඩාත් අදාළ සහ උචිත වන පරිදි, සංවිධානයේ විෂය පථය තවදුරටත් පුළුල් කිරීමේ සහ ඉහළ නැංවීමේ අරමුණින්, ලබන වසරේ දී ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ  සභාපතිත්වය දැඩි විශ්වාසයකින් යුතුව භාරගැනීම සඳහා අප උත්සාහ කරන්නේ මෙම සුවිශේෂී න්‍යාය පත්‍රය සමඟ ය. සංවිධානයක් ලෙස, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය දිගු ගමනක නිරත වී ඇත. ඉන්දියානු සාගරය පිළිබඳව සහ ඉන්දියානු සාගරය තිරසාර ලෙස භාවිතා කිරීම හා සබැඳි සියලුම කරුණු සාකච්ඡා කිරීම සඳහා විවිධ රටවල් සමූහයක් එකම වේදිකාවක් යටතට ගෙන ඒමේ හැකියාව සහ ශක්‍යතාව මෙම සංගමය ඔප්පු කර ඇත. මෙම සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව, සියලුම සාමාජික රටවල් සමඟ තවදුරටත් අන්තර් ක්‍රියා පැවැත්වීම සඳහා උද්‍යෝගයෙන් පසුවන අතර, මෙම සංවිධානය වැඩිදියුණු කිරීම සහ එහි සාර්ථකත්වය සඳහා ඵලදායී ලෙස දායක වීමේ අපේක්ෂාවෙන් ද පසු වේ.

ගරු අමාත්‍යවරුනි,

මහත්ම මහත්මියනි,

 වර්තමානය වන විට  ලෝකය අසමසම ආර්ථික කම්පනයන්ට හා පසුබෑම්වලට ලක්ව සිටියි.ඉහළ යන ජීවන වියදම සහ බලශක්ති පිරිවැය මෙන්ම, රටවල් අතර පවතින ණය අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාව වැනි රටවල්වලට පෙර නොවූ විරූ ආකාරයේ ආර්ථික අවදානම් සහ අභියෝග එල්ල වී ඇත. මෙවැනි පසුබිමක් තුළ, වත්මන් ගෝලීය ආර්ථික අර්බුදයට විසඳුමක් සෙවීම සඳහා, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ න්‍යාය පත්‍රය රටවල් අතර පවතින ආර්ථික සහයෝගීතාවට උචිත වන පරිදි නැවත අර්ථකතනය කළ හැකි ය.ඉන්දියානු සාගරය ආර්ථික සහයෝගීතාව පිළිබඳ කේන්ද්‍රස්ථානය බවට පත් කරන අතරතුර, ආර්ථික සහයෝගීතාව පිළිබඳව රටවල් අතර ක්‍රියාත්මක කරන සිය ක්‍රියාකාරකම් වේගවත් කිරීම සඳහා ඉවහල් වන යෝග්‍ය රාමුවක් ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයට සකස් කළ හැකි ය. මෙම ක්ෂේත්‍රය තුළ අපගේ පොදු න්‍යාය පත්‍රය වැඩිදියුණු කිරීම සඳහා වෙළෙඳ සහ ආර්ථික සහයෝගීතාව හා සබැඳි රටවල් සමඟ කටයුතු කිරීමට අපි උනන්දුවෙන් බලා සිටින්නෙමු.

අවසාන වශයෙන්, ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමය සමාජීය, සංස්කෘතික, භූගෝලීය, ආර්ථික සහ දේශපාලනික වශයෙන් විවිධ වූ රටවල් සමූහයන් එකම වේදිකාවකට ගෙන එන බව මම නැවත වරක් අවධාරණය කරමි. අපගේ රටවල අභිවෘද්ධිය හා ප්‍රගතිය උදෙසා ඵලදායී ලෙස ක්‍රියා කිරීමේ අරමුණින්, අපගේ දැක්ම සහ සියලුම අදහස් එකට එකතු කර ඒකාබද්ධ කළහොත්, ඉන්දියානු සාගරයේ අනාගතය පරිවර්තනය කිරීමේ හැකියාව මෙම අද්විතීය හා විශිෂ්ට වේදිකාවට හිමි වනු ඇත. මෙම සංගමයේ සභාපතිත්වය දරන බංග්ලාදේශයේ විශිෂ්ට නායකත්වය සහ මඟපෙන්වීම යටතේ සහ මහලේකම්වරයා යටතේ ක්‍රියාත්මක වන ලේකම් කාර්යාලයේ ඉහළ කැපවීමකින් සහ දක්ෂතාවකින් යුත් කණ්ඩායම යටතේ, මෙම උත්සාහයන් සහ අභිලාෂයන් සාක්ෂාත් කරගැනීමටත්, බිලියන 2.7කට අධික ජනගහනයක් සහිත සාමාජික රටවල් 23ක ජනතාවට අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසීමටත් හැකි වනු ඇතැයි මම විශ්වාස කරමි.

ඔබ දැක්වූ කාරුණික අවධානය වෙනුවෙන් මම ඔබට ස්තූතිවන්ත වෙමි.

Print Friendly, PDF & Email
Please follow and like us:

Close