කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ආසියානු අසල්වැසියන් සමඟ සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව යළි අවධාරණය කරයි

කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා ආසියානු අසල්වැසියන් සමඟ සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව යළි අවධාරණය කරයි

කලාපීය සහයෝගීතා කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මැතිතුමා අද දින (අගෝස්තු 19) විදේශ අමාත්‍යාංශයේ දී සිය රාජකාරි භාර ගත්තේය. අමාත්‍යංශය වෙත පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා, විදේශ ලේකම් අද්මිරාල් (මහාචාර්ය) ජයනාත් කොළඹගේ මහතා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිළිගනු ලැබීය. රාජකාරි භාර ගැනීමට පළමුව ආශීර්වාද පතා ආගමික වතාවත් ද පවත්වන ලදී.

රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව රැස්ව සිටි අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ඇමතූ රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා, ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ කලාපීය සහයෝගීතාවයේ වැදගත්කම සහ එතුළින් රටට ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ හැකියාව ගවේෂණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවධාරණය කළේය. විශේෂයෙන් ආසියානු කලාපය ඇතුළු අසල්වැසි රටවල් සමඟ ශ්‍රී ලංකාව පවත්වන සමීප සබඳතා ඔහු යළි අවධාරණය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ රටේ විදේශ ප්‍රතිපත්තිමය අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සහ අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

රාජ්‍ය අමාත්‍යවරයා සාදරයෙන් පිළිගනිමින්, එතුමන්ගේ නව පත්වීම පිළිබඳව සුබ පැතුම් එක් කළ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය කොළඹගේ මහතා, කලාපීය සහයෝගීතාවයෙන් යුතුව අසල්වැසි රටවල් සමඟ මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යන අතරම ශ්‍රී ලංකාවේ ආර්ථික අංශයේ සංවර්ධනය සඳහා ද විදේශ අමාත්‍යාංශය ලබා දිය යුතු දායකත්වය ඉස්මතු කළේය.

රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මැතිතුමා 2015 දී ප්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ අතර, 2019 නොවැම්බර් මාසයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා යටතේ නව රජය පිහිටුවීමෙන් පසුව එහි සමාජ ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධුරය දැරීය.

මීට පෙර, 2012 වසරේ දී එතුමා සබරගමු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්විය.

 

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2020 අගෝස්තු 19 වැනි දින

---------------------------------------------------------------

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close