විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධූරයේ රාජකාරි භාරගනී

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය ධූරයේ රාජකාරි භාරගනී

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 2020 අගෝස්තු 17 වන සඳුදා විදේශ අමාත්‍යාංශයේ රාජකාරි භාර ගත්තේය.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් අමාත්‍ය ගුණවර්ධන මහතා පිළිගනු ලැබීය. බහු ආගමික වතාවත් පැවැත්වීමෙන් අනතුරුව අමාත්‍යවරයා නිල වශයෙන් රාජකාරි භාර ගත්තේය.

ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ලබා දී ඇති ජනවරමට අනුව, නව අභියෝගයන්ට මුහුණ දීමට රජය සූදානම් බව කාර්ය මණ්ඩලය අමතමින්, විදේශ අමාත්‍යවරයා සඳහන් කළේය. බලයේ පවතින මෙම  රජය සහ එහි නොබැඳි හා මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තිය මගින්  රටට වාසිදායක වන ප්‍රධාන වෙනස්කම් ගණනාවක් ගෙන ඒමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම ප්‍රයත්නයේ දී රජය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ඔහු විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

පශ්චාත්-කොවිඩ් -19 යුගයේ පැන නගින ගැටලු විසඳීම සඳහා රජය දරන ප්‍රයත්න හුවා දක්වමින්, ඉදිරි වසර කිහිපය තුළදී, ශ්‍රී ලංකාව සිය ආර්ථික ඉලක්ක සපුරාලීමට සූදානමින් සිටින බව අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙම සන්දර්භය හමුවේ, ශ්‍රී ලාංකිකයින්ගේ අපනයන, ආයෝජන සහ ව්‍යවසායකත්වය ඉහළ නැංවීමේ අරමුණින්, වාණිජ දෙපාර්තමේන්තුව ද විදේශ අමාත්‍යාංශයේ විෂය පථය යටතට ගෙන ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය කොළඹගේ මහතා අමාත්‍යවරයා පිළිගනිමින්, ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 පැතිරීම මැඩපැවැත්වීම සහ එය පාලනය කිරීම උදෙසා විදේශ අමාත්‍යාංශය විසින් සාර්ථකව ඉටු කරන ලද කාර්යභාරය හුවා දැක්වීය.

ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය සහ විදේශ සබඳතා යන ජනාධිපතිතුමාගේ දැක්මෙහි ප්‍රධාන කුළුණු තුන පිළිබඳව අදහස් දක්වමින්, අලුතින් පත් කරන ලද විදේශ අමාත්‍යවරයාගේ දැක්ම නිසැකයෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ධනාත්මකව ප්‍රක්ෂේපනය කිරීමට දායක වනු ඇතැයි ලේකම් කොළඹගේ මහතා විශ්වාසය පළ කළේය.

විදේශ සේවය සහ විදේශ අමාත්‍යංශය විසින් ඉටු කරනු ලබන කාර්යභාරය ශක්තිමත් කිරීමටත්, එමඟින් අලුතින් තෝරාපත් කරන ලද රජයේ විදේශ ප්‍රතිපත්ති අරමුණු සාක්ෂාත් කිරීමටත් අමාත්‍යවරයා සිය පූර්ණ සහාය ලබා දෙන බවට පොරොන්දු විය.

විදේශ අමාත්‍යාංශය

කොළඹ

2020 අගෝස්තු 17

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close