රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මහතා ශ්‍රී ලංකාව සහ ආසියාන් රටවල් අතර සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කරයි

රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මහතා ශ්‍රී ලංකාව සහ ආසියාන් රටවල් අතර සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කරයි

ශ්‍රී ලංකාව සහ ආසියාන් රටවල් අතර සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ඉන්දුනීසියාව, මැලේසියාව, මියන්මාරය, තායිලන්තය, වියට්නාමය යන ආසියාන් රටවල ශ්‍රී ලංකාවේ පිහිටි දූත මණ්ඩලවල ප්‍රධානීන් සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් යුතුව රැස්වීමක් 2023 මාර්තු 30 වැනි දින අමාත්‍යාංශයේ දී පැවැත්විණි. රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරාධනයෙන්, මෙම සාකච්ඡාව සඳහා සමස්ත ලංකා බුද්ධශාසන සභාවේ ලේඛකාධිකාරී අතිපූජ්‍ය මුගුණුවෙල අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ද සහභාගි වූහ.

වසර දහස් ගණනක සිට පවතින බෞද්ධ ආගමික සබඳතාව ඇතුළුව, ආසියාන් රටවල් සමඟ සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මහතා ප්‍රකාශ කළේ දෙරට අතර සංචාර හුවමාරුවට ශ්‍රී ලංකාවේ සහ ආසියාන් රටවල සටන් කලාව, ආයුර්වේදය සහ කලාශිල්පවල පොහොසත් සම්ප්‍රදායන් සහ සංස්කෘතීන් බෙදාහදා ගැනීම ද ඇතුළත් විය හැකි බවයි. මෙම සංචාර හුවමාරුවෙන් ගොඩනැගෙන සම්බන්ධතා, ශ්‍රී ලංකාව සහ ආසියාන් රටවල් අතර තවදුරටත් සහයෝගීතාවයට හේතු විය හැකි බව ඔහු පැවසීය.

ආසියාන් රටවලට ශ්‍රී ලාංකික බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සංචාර ආරම්භ කිරීම සහ පෞද්ගලික අංශයේ ද සහභාගීත්වයෙන් යුතුව, ආසියාන් රටවල ප්‍රමුඛ බෞද්ධ විහාරස්ථාන සමඟ ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථාන සම්බන්ධ කිරීමේ වැඩසටහනක් හරහා බෞද්ධ ආගමික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාගේ යෝජනාව ආසියාන් රටවල දූත මණ්ඩල ප්‍රධානීන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2023 මාර්තු 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close