ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිලිපීනය තුළ සංවිධානය කරන ලද අධ්‍යයන චාරිකාවට ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වේ

ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පිලිපීනය තුළ සංවිධානය කරන ලද අධ්‍යයන චාරිකාවට ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වේ

ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් සම-සංවිධානය කරන ලද අධ්‍යයන චාරිකාවකට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා දූත පිරිසක් 2023 මාර්තු 22 සිට 24 යන දිනවල පිලිපීනය තුළ ක්‍රියාකාරී සංචාරයක නිරත විය.

සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකාවේ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාෂාන් නවනන්ද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය දුෂ්නි වීරකෝන් යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකා දූත පිරිසට ඇතුළත් වූහ.

ආසියානු බැංකුව මෙහිදී පිලිපීන සෞඛ්‍ය පද්ධතියේ හොඳම භාවිතයන් සහ පිලිපීනයේ විශ්ව සෞඛ්‍ය ආරක්ෂණ පනත පිළිබඳව සාකච්ඡා සැසි පැවැත්වී ය.  පිලිපීන සෞඛ්‍ය රක්‍ෂණ සංස්ථාව, පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ වී සිදු කරන කටයුතු පිළිබඳව පැවති සාකච්ඡාවට ද ශ්‍රී ලංකා දූත පිරිස සහභාගි විය.

අමාත්‍ය රඹුක්වැල්ල මැතිතුමා ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ශික්සින් චෙන් මහතා සමඟ ද ඵලදායි සාකච්ඡා පැවැත්වී ය. ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව කැප වන බවද  චෙන් මහතා මෙහිදී සහතික කළේ ය. මුදල් රාජ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යභාර නිලධාරියා මෙම හමුව සඳහා සහභාගි විය.

සෞඛ්‍ය අමාත්‍යවරයා මීට සමගාමීව පිලිපීනයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව භාර නිලධාරිනී වෛද්‍ය මරියා රොසාරියෝ එස්. වර්ජෙය මහත්මිය හමුවී සෞඛ්‍ය සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම පිළිබඳව මෙන්ම ප්‍රතිපත්ති සහ නීති නිර්මාණය කිරීම තුළින් සෞඛ්‍ය සම්පන්න සහ ආරක්ෂිත අවකාශයන් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ පැවැත්විය හැකි අනාගත සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

මැනිලා

2023 මාර්තු 31 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close