ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ (IORA) 2023-2025 සභාපතිත්වය ශ්‍රී ලංකාව විසින් භාර ගැනීම

ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ (IORA) 2023-2025 සභාපතිත්වය ශ්‍රී ලංකාව විසින් භාර ගැනීම

2023 ඔක්තෝබර් 11 වන දින කොළඹදී පැවැත්වීමට නියමිත 23 වන අමාත්‍ය කවුන්සිල රැස්වීමේ දී 2023 සිට 2025 කාල සීමා‍ව දක්වා ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ (IORA) සභාපතිත්වය භාර ගනු ඇත. අමාත්‍ය කවුන්සිල රැස්වීමට පෙරාතුව 25 වන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටු රැස්වීම පැවැත්වේ. ශ්‍රී ලංකාව මීට පෙර, එනම් 2003 සිට 2004 දක්වා සභාපතිත්වය දරා ඇති අතර මෙය ශ්‍රී ලංකාව විසින් සභාපතිත්වය භාර ගනු ලබන දෙවන අවස්ථාවයි.

ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානය ඉන්දියන් සාගරයට මායිම් වූ රටවල් 23 ක් ඒකාබද්ධ කරවන එකම අන්තර් රාජ්‍ය කලාපීය සංසදය වේ. එම සංවිධානයේ සංවාද පාර්ශවකරුවන් 11 දෙනෙකු ද වේ. ශ්‍රී ලංකාව එම සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකි. ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානය 2022 දී එහි 25 වන සංවත්සරය සනිටුහන් කළේය.

ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ ඉහළම තීරණ ගැනීමේ මණ්ඩලය අමාත්‍ය කවුන්සිලය වන අතර ශ්‍රී ලංකාව සභාපතිත්වය දරන කාලය තුළ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අමාත්‍ය කවුන්සිලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇත. විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය විසින් IORA  සංවිධානයෙහි අමාත්‍ය කවුන්සිල රැස්වීමට පෙරාතුව පැවැත්වෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීමෙහි සභාපතිත්වය දරනු  ලබයි.

ශ්‍රී ලංකාව විසින් IORA සංවිධානයෙහි සභාපතිත්වය දරන කාල සීමාව තුළ තේමාව වන්නේ 'කලාපීය ගෘහ නිර්මාණ ශිල්පය ශක්තිමත් කිරීම: ඉන්දියානු සාගර අනන්‍යතාවය යළි සවි ගැන්වීම’ යන්නයි. 2023 ඔක්තෝම්බර් මාසයේ කොළඹදී පැවැත්වෙන ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ අමාත්‍ය කවුන්සිල රැස්වීමට සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටු රැස්වීමට සාමාජික රටවල් 23 හි විදේශ කටයුතු අමාත්‍යවරු හා සංවාද පාර්ශවකරුවන් 11 හෝ ඔවුන්ගේ නියෝජිතයින් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වීමට නියමිතව ඇත.

ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානයේ සාමාජික රටවල් වන්නේ ඕස්ට්‍රේලියාව, බංගලාදේශය, කොමරෝස්, ප්‍රංශය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉරානය, කෙන්යාව, මැඩගස්කරය, මැලේසියාව, මාලදිවයින, මොරිෂස්, මොසැම්බික්, ඕමානය, සීෂෙල්ස්, සිංගප්පූරුව, සෝමාලියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යි. චීනය, ඊජිප්තුව, ජර්මනිය, ඉතාලිය, ජපානය, කොරියානු ජනරජය, රුසියානු සමූහාණ්ඩුව, සෞදි අරාබිය, තුර්කිය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය සංවාද පාර්ශවකරුවන් වේ.

කලාපීය ආර්ථික ඒකාබද්ධතාවය, වෙළඳාම සහ ආයෝජන වැඩි දියුණු කිරීම, තිරසාර සංවර්ධනය සඳහා පහසුකම් සැලසීම සහ සමුද්‍රීය ආරක්ෂාව සහ ආරක්ෂණය ශක්තිමත් කිරීමේ මූලික අරමුණු හා සමුද්‍රීය ආරක්ෂාව සහ ආරක්ෂණය, වෙළඳ සහ ආයෝජන පහසුකම්, ධීවර කළමනාකරණය, ආපදා අවදානම අවම කිරීම, ශාස්ත්‍රීය සහ විද්‍යාත්මක සහයෝගීතාව, සංචාරක හා සංස්කෘතික හුවමාරු කිරීම් සහ කාන්තා ආර්ථික සවිබල ගැන්වීම යන ප්‍රමුඛතා ක්ෂේත්‍ර කෙරෙහි ඉන්දියන් සාගර වටද්දර රටවල සංවිධානය විසින් අවධානය යොමු කරනු ලබයි.

IORA සංවිධානයෙහි ශ්‍රී ලංකාවේ සභාපතිත්වය සඳහා වන ලේකම් කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශය යටතේ බංග්ලාදේශයේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස්, විධායක අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වේ. ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයෙහි (NARA) නිලධාරීන් සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් ඇතුළුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ලේකම් කාර්යාලයට අනුයුක්ත කරනු  ඇත.

 

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

 

2023 සැප්තැම්බර් 06

Print Friendly, PDF & Email
Please follow and like us:

Close