ශැංහයි සහයෝගිතා සංවිධානයේ ප්‍රධානත්වයෙන්  “Reconnect-Rejuvenate” නමින් නවදිල්ලි නුවර පැවති ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාව සහභාගී වේ

ශැංහයි සහයෝගිතා සංවිධානයේ ප්‍රධානත්වයෙන්  “Reconnect-Rejuvenate” නමින් නවදිල්ලි නුවර පැවති ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාව සහභාගී වේ

ශැංහයි සහයෝගිතා සංවිධානයේ ප්‍රධානත්වයෙන්  Reconnect-Rejuvenate” නමින් 2023 මාර්තු 23-24 යන දිනවල නවදිල්ලි නුවර පැවති ජාත්‍යන්තර සමුළුව සඳහා ශ්‍රී ලංකාව සහභාගී විය.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව ලෝක කටයුතු පිළිබඳ ඉන්දීය කවුන්සිලය විසින් සංවිධානය කරන ලද මෙම දෙදින සමුළුව, ශැංහයි සහයෝගිතා සංවිධානයේ සභාපතිත්වය යටතේ ඉන්දියාව විසින් පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ එක් වැඩසටහනකි. ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජිකත්වය දරන වෘත්තිකයන්, විද්වතුන්, සහ චින්තන මණ්ඩල මෙන්ම නිරීක්ෂකයන් සහ සංවාද හවුල්කරුවන් මෙම සමුළුව සඳහා සහභාගී වූ අතර, ශැංහයි සහයෝගිතා සංවිධානය හා සබැඳි ආර්ථික සහයෝගිතාව, ආරක්ෂාව, සම්බන්ධතාව, සංස්කෘතිය, උරුමයන් සහ පුද්ගලාන්තර සම්බන්ධතා ඇතුළු පුළුල් පරාසයක ක්ෂේත්‍ර ගණනාවක් මෙම සමුළුව හරහා ආවරණය කරන ලදී.

 “Reconnect, Synchronise, Grow: Quest for Enhanced Connectivity” යන තේමාත්මක ක්ෂේත්‍රය පිළිබඳව පැවති සාකච්ඡා මණ්ඩපයේ සාමාජිකාවක් වූ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ද්විපාර්ශ්වික අංශයේ අතිරේක ලේකම් යසෝජා ගුණසේකර මහත්මිය, ශැංහයි සහයෝගිතා සංවිධානයට අයත් වෙරළබඩ රටවල් සහ ගොඩබිමෙන් වට වුණු රටවල්වල හවුල් සංවර්ධනය සහ සමෘද්ධිමත්භාවය සඳහා උත්තේජනයක් සපයන   සමුද්‍රීය සම්බන්ධතාවයේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළා ය. ඉන්දියානු සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම හේතුවෙන් අත්වන ප්‍රතිලාභ පිළිබඳව අවධාරණය කළ අතිරේක ලේකම් ගුණසේකර මහත්මිය, ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර කලාපයේ ප්‍රමුඛ සමුද්‍ර හා සැපයුම් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමටත්, එතුළ හරිත ආර්ථිකයක් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් ප්‍රකාශ කළා ය.

මෙම අරමුණ සාක්ෂාත් කරගැනීමේ දී, ශැංහයි සහයෝගිතා සංවිධානයට අයත් ඉන්දියාවේ මුම්බායි වරාය සහ ඉරානයේ චබාහාර් වරාය නමැති සමුද්‍රීය අක්ෂ ශ්‍රී ලංකාවේ කොළඹ වරාය සමඟ සම්බන්ධ කිරීම හරහා ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවලට ප්‍රතිලාභ ලබා ගත හැකි බව එතුමිය මෙහිදී අවධාරණය කළා ය. කොළඹ වරාය නගරයේ යෝජිත අක්වෙරළ මූල්‍ය මධ්‍යස්ථානය කෙරෙහි අවධානය යොමු කළ එතුමිය, ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන සහ සැකසුම් පහසුකම් පිහිටුවීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස ශැංහයි සහයෝගිතා සංවිධානයේ කලාපවලට අයත්  සමාගම්වලට ආරාධනා කළා ය.

ශැංහයි සහයෝගිතා සංවිධානය යනු 2001 ජුනි 15 වැනි දින ශැංහයි නුවර දී ආරම්භ කරන ලද අන්තර්රාජ්‍ය සංවිධානයකි. සාමාජික රටවල් අටක් (චීනය, ඉන්දියාව, කසකස්ථානය, කිර්ගිස්ථානය, රුසියාව, පාකිස්ථානය, තජිකිස්ථානය සහ උස්බෙකිස්ථානය), නිරීක්ෂක රාජ්‍ය හතරක් (ඇෆ්ගනිස්තානය, බෙලරුසය, ඉරානය සහ මොංගෝලියාව) සහ "සංවාද හවුල්කරුවන්" හයක් (ආර්මේනියාව, අසර්බයිජානය, කාම්බෝජය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තුර්කිය) මේ වන විට මෙම සංවිධානයට අයත් වේ. 2009 දී ශ්‍රී ලංකාව මෙම සංවිධානයේ සංවාද හවුල්කරුවෙකු බවට පත්විය.

ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය

නවදිල්ලිය

2023 මාර්තු 28 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close