නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සාමය ගොඩනැගීමේ මාධ්‍යයක් ලෙස කලා නිර්මාණ ප්‍රවර්ධනයට සහය වේ

නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය සාමය ගොඩනැගීමේ මාධ්‍යයක් ලෙස කලා නිර්මාණ ප්‍රවර්ධනයට සහය වේ

එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමේ (CSW67) 67 වැනි සැසිවාරයට සමගාමීව, නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය යුද්ධයෙන් පීඩාවට පත් කාන්තාවන්ගේ සංගමය, ජාත්‍යන්තර සිවිල් සමාජ ක්‍රියාකාරී ජාලය (ICAN) සහ ලන්ඩන් ආර්ථික විද්‍යා විද්‍යාලයේ (LSE) ස්ත්‍රී පුරුෂ සමාජභාවය, යුක්තිය සහ ආරක්ෂක මධ්‍යස්ථානය සමඟ එක්ව, "සාමය ගොඩනැගීම, දකුණු ආසියාවේ කාන්තාවන්ට වඩාත් හොඳින් දිවි ගෙවිය හැකි සහ කාර්යයන්වල නිරත විය හැකි සමාජයක් ගොඩනැගීම සඳහා යොදාගත හැකි මාධ්‍යයක් වන කලා ශිල්ප " නමින් වැඩසටහනක් පැවැත්වී ය.

දෙමුහුන් ආකාරයෙන් පවත්වන ලද මෙම උත්සවයට, ඉන්දියාව, පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව යන රටවල ගැටුම්වලින් පීඩාවට පත් වූ ප්‍රජාවන් විසින් සාදන ලද නිෂ්පාදන ප්‍රදර්ශනයක් සහ අළෙවි වැඩසටහනක් ඇතුළත් විය. තිරසාර ජීවනෝපාය පිළිබඳ ප්‍රවීණයකු වන පශ්චාද්-ගැටුම් ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ විශේෂඥ ආචාර්ය නීලම් රයිනා, ජාත්‍යන්තර සිවිල් සමාජ ක්‍රියාකාරී ජාලයේ (ICAN) නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී සහ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර හා මහජන කටයුතු පිළිබඳ පීඨයේ අනුබද්ධ මහාචාර්යවරිය වන ලන්ඩන් ආර්ථික විද්‍යා විද්‍යාලයේ කාන්තා සාමය සහ ආරක්‍ෂක මධ්‍යස්ථානයේ සාමාජිකයෙකු වන සනම් ඇන්ඩර්ලිනි සහ යුද්ධයෙන් විපතට පත් කාන්තාවන්ගේ සංගමයේ නිර්මාතෘ සහ ක්‍රියාන්විතයේ දී අතුරුදහන් වූ සෙබළුන්ගේ දෙමාපියන්ගේ සංගමයේ ආරම්භක සභාපති විසාකා ධර්මදාස යන මහත්මීහු මෙම වැඩසටහනේ සාකච්ඡා මඩුල්ලට ඇතුළත් වූහ.

විද්වත් මඩුල්ල සාදරයෙන් පිළිගත් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් මැතිතුමා, සාම සාකච්ඡාවල දී සහ පශ්චාද් ගැටුම් ප්‍රතිසංස්කරණයට අදාළ විධිමත් ක්‍රියාවලීන්හි දී කාන්තාවන් දායක කරනොගැනීමේ ප්‍රවණතාව කෙරෙහි සිය අවධානය යොමු කළේ ය. පවුලක සහ ප්‍රජාවක සහජීවනය සඳහා මූලිකත්වය ගන්නා කාන්තාවන්ගේ සහභාගීත්වයෙන් තොරව, තිරසාර සාමයක් සහතික කළ නොහැකි බවත්, යුද්ධය අතරතුර මෙන්ම සාමය උදාකරගැනීම තුළ කාන්තාවන් ලබා දී ඇති දායකත්වය පූර්ණ වශයෙන් ඇගයීමට ලක් නොවන බවත්, එම දායකත්වය අවතක්සේරු කර ඇති බවත් එතුමා මෙහිදී අවධාරණය කළේ ය.

මෙම උත්සවයේ සංවිධායකවරියක් සහ සම්බන්ධීකාරකවරියක් වූ ආචාර්ය රයිනා මහත්මිය, ගැටුම්වලින් පීඩාවට පත් වූ පරිසරවලට අයත් පුද්ගලයන් සහ විශේෂයෙන්ම කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා මෙම සංවිධානය සිදු කරන කාර්යයන් පිළිබඳව පැහැදිලි කළා ය. මෙම කාන්තාවන් තුළ ගැබ් වී ඇති සම්ප්‍රදායික දැනුම හා කුසලතා උපයෝගී කර ගනිමින්, ඔවුන්ගේ ආර්ථිකය සවිබල ගන්වා ඔවුන්ගේ ජීවනෝපාය සහතික කිරීම සහ අභිමානයෙන් ජීවත් වීමට ඔවුන්ට අවස්ථාව සැලසීම මෙම වැඩසටහනේ  ප්‍රධාන අරමුණ බව එතුමිය මෙහිදී ප්‍රකාශ කළා ය. ලන්ඩනයේ සිට අතථ්‍ය අයුරින් සහභාගී වූ සනම් ඇන්ඩර්ලිනි මහත්මිය, සංස්කෘතික හා මානව විද්‍යාත්මක දෘෂ්ටිකෝණයක් ඔස්සේ මෙම ව්‍යාපෘතිය සතු වැදගත්කම සහ දුෂ්කර අවස්ථාවන්ට මුහුණ දීමේ දී කාන්තාවන්ගේ නියෝජනය සහ ඔවුන් විදහා දක්වන ඔරොත්තු දීමේ හැකියාව අවධාරණය කරමින්, “සාමය උදාකරන කාන්තාවන්” යන මාතෘකාව යටතේ දේශනයක් පැවැත්වූවා ය. විසාකා ධර්මදාස මහත්මිය, ගැටුම් සහිත පරිසරයන් තුළ නිර්මාණය වී ඇති අර්බුදවල ප්‍රතිඵලයක් ලෙස හටගෙන ඇති විවිධ ආතතීන් සහ සමාජ ව්‍යුහයට එල්ල වන අභියෝග මධ්‍යයේ විවිධ ජනවාර්ගික කාන්තාවන් අතර සහයෝගය අඛණ්ඩව පවත්වා ගෙන යාම සහතික කිරීම සඳහා ගන්නා ලද ප්‍රයත්නයන් පිළිබඳ සිය අත්දැකීම් බෙදා ගත්තා ය.

පාකිස්තානය, ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව යන රටවල කාන්තාවන් සමඟ කටයුතු කරන සංවිධානවල දකුණු ආසියානු හවුල්කරුවන් විසින් ද සාකච්ඡා පවත්වන ලදී. මෙම අවස්ථාවට තිස් දෙනෙකුට අධික පිරිසක් සහභාගී වූ අතර, විශේෂයෙන්ම ව්‍යවසායිකාවන් ඇතුළු පනහකට අධික පිරිසක් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊට සහභාගී වූහ.

සාකච්ඡා මඩුල්ලේ සංවාදයෙන් අනතුරුව, ප්‍රදර්ශනය සඳහා තබා තිබූ නිෂ්පාදන වන අත්යන්ත්‍ර සහ එම්බ්‍රොයිඩර් රෙදි, පින්තාරු කරන ලද මැටි භාණ්ඩ සහ වේවැල් භාණ්ඩ කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය. ප්‍රජාවක් සහ එහි වටපිටාව පිළිබිඹු කරන නිෂ්පාදන සමඟින් තම පරිසරයෙන් ලැබෙන ද්‍රව්‍ය භාවිතා කර තම ප්‍රජාව තුළ කටයුතු කරන විශේෂිත ශිල්පීන් හඳුනාගැනීමට මෙහිදී හැකි විය. ප්‍රජාව වෙන් කොට හඳුනාගෙන, ජනතාව එහි සුවිශේෂීත්වය කෙරෙහි  ආකර්ෂණය කර ගනිමින් සංස්කෘතික අනන්‍යතාවයක් වර්ධනය කිරීමට ඔවුහු කටයුතු කර ඇත.

සෑම නිර්මාණකරුවකුගේම මුහුණ මෙම වැඩසටහනට අර්ථයක් එක් කළ අතර, ගම්දනව්වල සිටින නිෂ්පාදකයින්ගේ අතින් නිමවන නිෂ්පාදන නිව්යෝර්ක් වෙත ළඟා වීම තෙක් පසු කළ ගමන්මග සැබවින්ම හැඟුම්බර චාරිකාවක් බවට පත්විය. විවිධ ජාල හරහා ඍජුවම අළෙවි වූ භාණ්ඩ මගින් ඔවුන්ගේ ආදායමට දායකත්වයක් සැපයිණි.

2000 ඔක්තෝම්බර් මාසයේ දී සම්මත කරන ලද 'කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව' පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 යෝජනාව, මූලික පාර්ශ්වකරුවන්ගේ සවිබල බලගැන්වීමේ ප්‍රයත්නයන් මත පදනම් වී ඇති අතර, කාන්තාවන්ගේ සහභාගීත්වය වැඩි කිරීමට සහ සාමය හා ආරක්ෂාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ගනු ලබන සියලුම ප්‍රයත්න සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ඉදිරිදර්ශන ඇතුළත් කරන ලෙස මේ හරහා  සියලුම ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 1325 යෝජනාවේ අන්තර්ගත කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ න්‍යාය පත්‍රය සමාලෝචනය කිරීම හා සබැඳි කටයුතු සමඟ නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය අඛණ්ඩව නිරතව සිටී. 2023 මාර්තු 7 වැනි දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ පැවති සාකච්ඡාවක දී, පසුගිය වසර 23 තුළ කාන්තාවන්, සාමය, ආරක්ෂාව නමැති න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබුණ ද, සාමය පිළිබඳව සාකච්ඡා කිරීමේ විධිමත් ක්‍රියාවලීන් සඳහා කාන්තාවන්ගේ සෘජු සහභාගීත්වය නොමැතිකම හේතුවෙන් යම්කිසි අඩුලුහුඬුකමක් මතුව ඇති බව ශ්‍රී ලංකාව විසින් අවධාරණය කරන ලදී. සාමය ගොඩනඟන්නන් ලෙස කාන්තාවන් සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කළ මෙම වැඩසටහන, ඉහත යෝජනාවේ මූලික හරයන් ක්‍රියාවට නංවමින් ඊට සහය දැක්වීම අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා නිත්‍ය දූත මණ්ඩලය

නිව්යෝර්ක්

2023 මාර්තු 16 වැනි දින

 

 

Print Friendly, PDF & Email
Please follow and like us:

Close