බඳවා ගැනීමේ නියෝජිත සංගමයේ (RAA) නියෝජිතයෝ ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ඉහළ ප්‍රමාණයක් ලබා දීම සඳහා පවත්නා ක්‍රම පිළිබඳව සාකච්ඡා පවත්වති

බඳවා ගැනීමේ නියෝජිත සංගමයේ (RAA) නියෝජිතයෝ ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ඉහළ ප්‍රමාණයක් ලබා දීම සඳහා පවත්නා ක්‍රම පිළිබඳව සාකච්ඡා පවත්වති

ජෝර්දානයේ බඳවා ගැනීමේ නියෝජිත සංගමයේ (RAA) නියෝජිතයෝ 2023 මාර්තු 14 වැනි දින ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී තානාපති ජේ. ඒ. ඩී. එස්. ප්‍රියංගිකා විජේගුණසේකර මැතිනිය හමු වී ශ්‍රී ලාංකිකයන්ට ඉහළ රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා දීම සඳහා  පවත්නා ක්‍රම පිළිබඳව සාකච්ඡා පැවැත්වූ හ.

විශේෂයෙන්ම ශ්‍රමිකයන්ගේ සංක්‍රමණික කටයුතු තිරසාර ලෙස කළමනාකරණය කිරීම සඳහා ඉවහල් වන දෙරටේ කැපී පෙනෙන ප්‍රතිපත්ති, හොඳම භාවිතයන් සහ යාන්ත්‍රණ බෙදාහදා ගැනීම සම්බන්ධයෙන් දෙරටේ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පවත්නා විභව ක්ෂේත්‍ර කෙරෙහි මෙම ඒකාබද්ධ සාකච්ඡාවේ අවධානය යොමු විය.

ගෘහස්ථ රැකියා අංශය තුළ ශ්‍රී ලාංකිකයන් සඳහා පවතින රැකියා අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් නියෝජිතයන් සිය උනන්දුව සහ කැපවීම පෙන්නුම් කළහ. විශේෂයෙන්ම ශ්‍රමිකයන් විදේශ රටවලට යවන අනෙකුත් රටවල් හා සමගාමීව ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ කිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට මෙහිදී දෙරටටම හැකි වනු ඇත. රැකියා ප්‍රවර්ධනය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට සහ ඔවුන් මුහුණ දෙන ගැටළු  විසඳාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට ද ඔවුහු සිය කැමැත්ත පළ කළහ.

සිය අදහස් පළ කළ තානාපති විජේගුණසේකර මැතිනිය, ශ්‍රමිකයන් විදේශ රටවලට යොමු කරන රටක් වන ශ්‍රී ලංකාව සතු සුවිශේෂිත්වය සහ විදේශගත ශ්‍රමිකයන් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා ලබා දෙන අගනා දායකත්වය පිළිබඳව අවධාරණය කළා ය. සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු සහ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඉහළ නැංවීම යනාදිය ආවරණය වන පරිදි ශක්තිමත් ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග අනුගමනය කිරීමේ අවශ්‍යතාව ද තානාපතිනිය විසින් පැහැදිලි කරන ලදී. ගෘහ සේවිකාවන් මුහුණ දෙන ඉහළ අවදානම් සහිත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, අර්ධ නිපුණතා සහ පූර්ණ නිපුණතා සහිත ශ්‍රමිකයන් විදේශීය රටවල් සඳහා බඳවා ගැනීම ප්‍රවර්ධනය කිරීම සඳහා වන රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව ද එතුමිය මෙහිදී අවධාරණය කළා ය

ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ තෙවැනි ලේකම් (රැකියා හා සුබසාධන) පී.ඒ. රූපසිංහ සහ දූත මණ්ඩලයේ කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට සහභාගී විය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

අම්මාන්

2023 මාර්තු 17 වැනි දින

Print Friendly, PDF & Email
Please follow and like us:

Close